මාධ්‍ය නිදහස නැති කරන්නට සැරසෙන බවට පාකිස්ථාන රජයට චෝදනා

මාධ්‍ය නිදහස නැති කරන්නට සැරසෙන බවට පාකිස්ථාන රජයට චෝදනා

පාකිස්ථානයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ අරමුණින් එරට පවතින නීති සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් රජයට චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉලෙක්ට්‍රොනික අපරාධ වැළැක්වීමේ පනත සදහා සංශෝධන ඉදිරිපත් කිරීමට පාකිස්ථාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර එමගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කෙරෙන බවයි එරට ප්‍රධාන මාධ්‍ය සංවිධාන සියල්ලේම සාමාජිකත්වයෙන් යුත් මාධ්‍ය නිදහස සදහා වන ඒකාබද්ධ කමිටුව සඳහන් කර ඇත්තේ.

නව සං‍ශෝධන මගින් පුද්ගලන්ට අමතරව සංවිධාන, ආයතන ආදියට එරෙහිව ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර පුද්ගල අනන්‍යතාවයන්ට හානි කිරීමට වැරදිකරුවන් වන අයට වසර වසර පහක් දක්වා සිර දඩුවම් නියම කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ද සඳහන්.

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන්ගේ ගරුත්වයට හානි කිරීම නව සංශෝධනය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කර ඇති අතර ඊට අදාළ නඩු කටයුතු මාස හයක් තුළ අවසන් කළ යුතු බවට වන ප්‍රතිපාදන ද ඊට ඇතුළත් කර තිබෙනවා.

මෙම සංශෝධනවලට එරෙහිව වෙනත් සිවිල් සංවිධාන සමග එක්ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සදහන් කරන පාකිස්ථානයේ මාධ්‍ය සංවිධාන වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙම භයානක නීති සංශෝධන ඉවත් කරගන්නා තුරු විරෝධතා පවත්වන බවයි.

Share This