Swift ජාත්‍යන්තර බැංකු ගෙවීම් පද්ධතියෙන් රුසියානු බැංකු ඉවතට

Swift ජාත්‍යන්තර බැංකු ගෙවීම් පද්ධතියෙන් රුසියානු බැංකු ඉවතට

Swift ජාත්‍යන්තර බැංකු ගෙවීම් පද්ධතියට රුසියාවේ ප්‍රවේශය අවහිර කිරීමට බටහිර රටවල් රැසක් එකඟ වී තිබෙනවා.

එක්සත් ජනපදය, කැනඩාව සහ ජර්මනිය ඇතුළු ප්‍රධාන යුරෝපීය රටවල් Swift ගෙවීම් පද්ධතියෙන්, තෝරාගත් රුසියානු බැංකු ඉවත් කිරීමට මෙලෙස එකඟ වී ඇති බවයි එම රටවල් නිවේදනය කර ඇත්තේ.

මේ අතර රුසියානු ප්‍රහාරවලින් කාකයිව් හි ගෑස් නළ මාර්ගයක් ගිනිගෙන ඇති බව වාර්තා වන අතර, යුක්‍රේන අගනුවරට නිරිත දෙසින් පිහිටි වැසල්කිව් හි තෙල් පර්යන්තයක් ද රුසියානු ප්‍රහාරවල ඉලක්කය වී ඇති බව ද වාර්තා වනවා.

එයින් පාරිසරික ව්‍යසනයක් ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

තෙල් පර්යන්තයේ පිපිරීම් හේතුවෙන් ඇති වී තිබෙන ගිනි ජාලාවෙන් නික්මෙන දුමාරය අනතුරුදායක විය හැකි බවට යුක්රේන බලධාරීන් අගනුවර වැසියන්ට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අවට ජීවත්වන ජනතාවට දැනුම් දී ඇත්තේ මේ හේතුවෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බැවින් නිවෙස් තුළට වී දොරවල් ජනෙල් වසාගෙන ආරක්ෂිතව සිටින ලෙසටයි.

රුසියානු හමුදා විසින් මෙලෙස බලශක්ති ප්‍රවාහන මාර්ගයන්ට සහ බලශක්ති ප්‍රභවයන්ට සිදුකරනු ලබන හානි Swift ජාත්‍යන්තර බැංකු ගෙවීම් පද්ධතියට රුසියාවේ ප්‍රවේශය අවහිර කිරීමට ප්‍රධාන හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ අතර යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක යුද ආධාර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම යුක්‍රේනයට යුද උපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය ඊයේ (26) තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

Share This