පිළිස්සී මියගිය සැමියාගේ මරණයට බිරිඳ සහ මාමණ්ඩිය අත්අඩංගුවට (වීඩියෝ)
ගින්නකින් පිළිස්සී මියගිය බව පැවසුණු පුද්ගලයෙකුගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නයි බල කරමින් රිකිල්ලගස්කඩ නගරයේදී ඊයේ (28) පස්වරුවේ විරෝධතාවයක් පැවත්වුණා.
විරෝධතාකරුවන් සඳහන් කළේ සිරුරට ගිනි ඇවිලී මියගිය බව පැවැසුව ද එම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ හා මාමණ්ඩිය පිළිබඳ බරපතල සැකයක් මතුව ඇති බවයි.
රිකිල්ලගස්කඩ, මකුරුප්ප ප්රදේශයේ නිවසක් මෙලෙස හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ පසුගිය 25 වැනිදායි.
වහා ක්රියාත්මක වූ ගම්වාසීන් ඒ පිළිබඳ විමසිලිමත් වෙද්දී අදාළ නිවස ඉදිරිපිට ග්රාම සේවකවරියක වන මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ පියා සිටින ආකාරය දැක තිබෙනවා.
ගම්වාසීන් පවසන්නේ ඔවුන් ගින්න පාලනය කිරීම සඳහා උත්සාහයක් නොදැක්වූ බවයි.
පසුව ඒ පිළිබඳ විමසිලිමත්වෙද්දී ගිනි ගන්නා නිවස තුළ පුටුවක් මත පිළිස්සී මියගිය එක්දරු පියෙකු වන අදාළ ග්රාම සේවකවරියගේ සැමියාව දැක තිබෙනවා.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීකෂණය ඊයේ මහනුවර ජාතික රෝහලේදී පැවැති අතර මියගිය තරුණයාගේ සිරුර අධික ලෙස පිළිස්සීම හේතුවෙන් ඒ පිළිබඳ ලබාදී ඇත්තේ විවෘත තීන්දුවක්.
ඒ අනුව දේහයේ කොටස් රජයේ රස පරීකෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමටයි තීරණය වුණේ.
ඊයේ දහවල් මියගිය පුද්ගලයාගේ සිරුර යළිත් ඥාතීන්ට භාරදී ඇති අතර ඥාතීන් මෙලෙස විරෝධතාවකට එක්වූයේ ඉන් අනතුරුවයි.
විරෝධතාකරුවන් පවසා සිටියේ මෙම පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් ග්රාම නිලධාරිනියක වන ඔහුගේ බිරිඳ හා මාමණ්ඩිය පිළිබඳව බරපතල සැකයක් මතුවන බවයි.
ඔවුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ගම්වාසීන් රිකිල්ලගස්කඩ නගරයේ පැය 4 ක පමණ කාලයක් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.
කෙසේ වෙතත් පසුව අදාළ කාන්තාව හා ඇගේ පියා අත්අඩංගුවට ගැනීමට ඊයේ (28) රාත්රියේ පොලීසිය පියවර ගත්තා.