ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ජනපති අතර හමුවක් (වීඩියෝ)

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ජනපති අතර හමුවක් (වීඩියෝ)

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ සිදු වුණා.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එහි සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව මෙහිදී සඳහන් කළා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහායවීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇති බව ද සභාපතිවරයා පවසා තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ලබාදී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750ක්.

මේ වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා සඳහන් කර සිටියා.

කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළා.

හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම බවත් මේ සඳහා සහාය වන ලෙස ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියා.

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට පළකර කළා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය ලබාදෙන බවයි.

 

 

Share This