BRICS සමුළුවට චීන, ඉන්දීය රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්

BRICS සමුළුවට චීන, ඉන්දීය රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්

මෙවර රුසියාවේ දී පැවැත්වෙන BRICS රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඔක්තෝබර් 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රුසියාවේ කසාන් නගරයේ දී පැවැත්වෙන මෙවර 16 වන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 20 කට වැඩි පිරිසක් ආරාධනා ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද මෙවර සමුළුවට එක් වනවා.

ඒ අනුව අද පෙරවරුවේ බෙයිජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් රුසියාව බලා පිටත්ව ගිය චීන ජනාධිපති ෂී ජින් පිං, සමුළුව පැවැත්වෙන කසාන් නගරය වෙත පැමිණ ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයද රුසියාවේ කසාන් නගරය වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් BRICS කණ්ඩායම සිය සාමාජික රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන මුල්ම සමුළුව මෙය වීම ද මෙවර වඩාත් සුවිශේෂී වනවා.

ඒ අනුව මෙම BRICS කණ්ඩායමට එක්වීම සඳහා ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම සෞදි අරාබිය ද ආරාධනා ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ගෝලීය ජනගහනයෙන් 45%ක කොටසක් නියෝජනය කෙරෙන BRICS සාමාජික රටවලින්, ගෝලීය ආර්ථිකයෙන් 28%කට පමණ දායක වනවා.

Share This