පිළිස්සී මරුදුටු ව්‍යාපාරිකයාගෙන්’මරණයට විනාඩි 7කට පෙර’ බිරිඳට ඇමතුමක්
කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් රථයක් තුළ පිළිස්සී තිබීයදී සොයාගත් මළසිරුර සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ මේවනවිට කඩිනමින් ක්‍රියාත්මක වනවා.
මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවතේ පදිංචි නිසාර් මොහොමඩ් සක්ෂාන් නමැති 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට හඳුනාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමද සිදු වුණා.
ඉකුත් 10 වැනිදා රාත්‍රි ආහාර ලබාගැනීම සඳහා ගොස් ආපසු සිය මාමණ්ඩියට අයත් ව්‍යාපාරික ස්ථානයකට මොහු මෝටර් රථයෙන්ම පැමිණ ඇති අතර එම ස්ථානයේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ගෝලයන්ද නතර වී සිට තිබෙනවා.
ව්‍යාපාරිකයා මියයන්නට විනාඩි 7කට කලින් පානදුරේ සිටින සිය බිරිය සමඟ දුරකථනයෙන් කතාබස්කර ඇති බවද හෙළි වී තිබුණා.
ඒ ඊයේ (11ද) දින පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල්‍යයකට අවශ්‍ය කේක් ලබාගැනීම පිළිබඳවයි.
ව්‍යාපාරිකයා මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කිසිවකු විසින් ගෙන එනු ලැබූ කේක් ලබාගැනීමට බව මූලික පරීක්ෂණයේදී හෙළිවී තිබුණා.
මියගිය ව්‍යාපාරිකයාගේ රථයේ පිටුපස අසුනේ පෙට්‍රල් පිරවූ කෑන් එකක්ද තිබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගැනීමට පොලිසිය අධිකරණය මඟින් කටයුතු කර තිබෙනවා.
මේ අතර සත්‍ය වශයෙන්ම මියගොස් ඇත්තේ නසාර් නමැති ව්‍යාපාරිකයාද යන්න තහවුරු කරගැනීම සඳහා මියගිය පුද්ගලයාගේ මවගේ හා අනෙකුත් ඥාති පාර්ශ්වයේ රුධිර සාම්පල ලබාගෙන මියගිය පුද්ගලයාගේ මළසිරුරෙන් ලබාගත් රුධිර සාම්පලද සමඟ ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි.
මියගිය පුද්ගලයා අධික ලෙස සිගරැට් පානයට පුරුදු වී සිටි අයකු බවත් වාර්තා වනවා.