COPE කමිටු නිලධාරීන් ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවකට යයි

COPE කමිටු නිලධාරීන් ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවකට යයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවක නිරත වී තිබෙනවා

ඒ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කිරීමටයි

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබෙනවා

එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය වී ඇති බව සඳහන්

මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්තවූවද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය වී තිබෙනවා

මේ අනුව මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු කර තිබෙනවා

මෙහිදි කෝප් කාරක සභා සාමජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක ද නිරත වුණා

මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කරණු ලැබුවා

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නුදුරු දිනක නැවතත් කෝප් කාරක සභාවට කැදවීමටයි තීරණය කර ඇත්තේ

 

Share This