IMF ණය පැකේජය පිළිබඳව මිශ්‍ර ප්‍රතිචාර

IMF ණය පැකේජය පිළිබඳව මිශ්‍ර ප්‍රතිචාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත යෝජනා සම්මත කරගැනීම සඳහා වූ පාලිමේන්තු විවාදය අප්‍රේල් මස 26, 27 සහ 28 ‍යන දින තුන තුළ පැවැත්වීමට නියමිත වනවා.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණයට එළඹී බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 2.9 ක IMF හි විස්තීරණ අරමුදල් පහසුකම අනුමත කළ බව පසුගිය මාර්තු 20 නිවේදනය කිරීම සහ එයින් ඩොලර් මිලියන 330 ක් පමණ රටේ මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා වහාම බෙදාහැරීමට අනුමැතිය ලබාදීම, ශ්‍රී ලංකාවේ අර්බුදයට සහනයක් ගෙනඑනු ලැබූ බවයි රජයේ අදහස වන්නේ.

විස්තීරණ අරමුදල් පහසුකම අනුමත කිරීම ඔස්සේ රටේ පෞද්ගලික ණය හිමියන් සමඟ යම් එකඟතාවකට පැමිණීමටද ආණ්ඩුවට හැකියාව ලැබුණු අතර, අනෙකුත් අන්තර්ජාතික මූල්‍ය ආයතන විසින්ද සිය මූල්‍ය ආධාර දොරටු විවෘත කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත්, IMF ණය පැකේජය පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින්නේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

IMF විසින් නියම කර ඇති කොන්දේසි රටේ ජනගහණයෙන් වැඩි කොටසකට වඩාත්ම දරුණු ලෙස බලපානු ඇතැයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය වූ 17 වැනි අවස්ථාව මෙය වනවා.

මාස 48ක මෙවර දීර්ඝ වැඩපිළිවෙල මගින් අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස්කරදීම සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට මෙන්ම ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජයට ප්‍රතිපත්තිමය අවකාශයක් සලසා දෙනු ඇති.

එසේම මෙම ණය මුදල අනුමත කිරීම තුළින්, අනෙකුත් බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් රජයට ඩොලර් බිලියන 07 කට අධික අරමුදල් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාව කෙරෙහි පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට හැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂක මයිකල් අයිව්සන් පෙන්වාදී ඇති ආකාරයට IMF ණය වැඩසටහන දැඩි දැඩි කොන්දේසිවලින් යුක්තයි.

IMF ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජය සිය බදු යාන්ත්‍රණ ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, අඛණ්ඩ අයවැය හිඟය පියවා ගැනීමට සහ ආදායමට අනුකූලව වියදම් සකසාගැනීම සඳහා, වියදම් කළමනාකරණය කරන ලෙසත්ය. එසේම මාස හයකින් සිදුවන පළමු IMF සමාලෝචනයට පෙර, ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණයහිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු වනවා.

ඉන්දියාව සහ ජපානය සිය මූල්‍ය සහන සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව දීර්ඝ ප්‍රමාද කිරීමකින් පසු චීනයද මූල්‍ය සහතිකය ලබාදුන් අතර, අප්‍රේල් මාසයේදී සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය ප්‍රකාශයට පත් කිරීම රජය ඉලක්කයයි.

IMF පසුගිය මාර්තු 21 දින පැවසුවේ, සිය ණය වැඩසටහනේ කොටසක් ලෙස දූෂණය අවම කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. IMFහි ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසන්නේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ පාලන දුර්වලතා තක්සේරු කර නිර්දේශ ලබාදෙන බවයි.

මෙම තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා තිබෙනවා.

IMF විධායක මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතිය පිළිබඳ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් වී ඇති බවක් ලෝකය විසින් නොසලකන බවයි.

“මෙම ණය පහසුකම විසින් ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහතිකයක් ලෙස ක්‍රියා කරයි. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සමඟ සහ අපගේ ණය හිමියන් සමඟ අපගේ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයක් සඳහා අපි කැපවී සිටිමු.

IMF විධායක මණ්ඩලය අපගේ වැඩසටහන අනුමත කළ අතර, ශ්‍රී ලංකාවට IMF සහ වෙනත් ආයතන වෙතින් ඩොලර් බිලියන 07ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකිවේ. මෙම සහයෝගය වෙනුවෙන් IMF සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මම ස්තූතිවන්ත වෙමි. අපේ විදේශ මුදල් වර්ධනය වන විට අපි ක්‍රමානුකූලව ආනයන සීමා ඉවත් කරනවා. පළමු චක්‍රය තුළ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ භාණ්ඩ ආනයනය කරන්නෙමු” යැයි ඔහු සඳහන් කර සිටියා.

IMF ණය පැකේජයේ පළමු වාරිකය රටට ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු 22 දින පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලද මීට පෙර ණය මෙන් නොව, මෙවර ණය මුදල රජයේ වියදම් සඳහා ද භාවිත කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

වැදගත් කරුණ නම්, IMF ණය ලැබීමෙන් අනතුරුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ණයදෙන්නන් විසින්ද ඩොලර් බිලියන 3.75 ක අතිරේක සහාය ලබාදීමට කැමැත්ත පළකර තිබීම බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

“IMF ණය යනු අවසානයක් නොවේ. මෙය දිගු හා වඩා දුෂ්කර ගමනක ආරම්භයයි. අපි එය පරිස්සමෙන් හා ධෛර්යයෙන් ගමන් කළ යුතුයි.” යැයි ඔහු පැවැසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ, අධික උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට සහ දැවැන්ත ආර්ථික හා සාමාජයීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි.

ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත්, IMF සහාය දක්වන වැඩසටහනට අනුකූලව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම බලධාරීන්ට සහ ණය හිමියන්ට දැන් වැදගත් බවත් ඇය අවධාරණය කර තිබෙනවා.

දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා නව නීති සම්පාදනයේ වැදගත්කමද ඇය පෙන්වාදී තිබුණා.

1965 සහ 2016 අතර ශ්‍රී ලංකාව 16 වතාවක් IMF ණය වැඩසටහන් සමග එක්ව ඇති අතර මෙම අවස්ථා 16න් වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූයේ නව වතාවක් පමණි.

මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සහ තවත් පාර්ශවයක් එක්ව ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලද IMF වැඩසටහන් අතරතුර ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය සැළකිව යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් කාලය තුළ අත්පත් කරගත් වර්ධනයේ බලපෑම, එම වැඩසටහන් අවසන් වීමත් සමග නිමාවී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

වෙනත් වචනවලින් කිවහොත්, දිගු කාලීනව ආර්ථික ප්‍රකෘතිය සඳහා තිරසාර විසඳුම් ලබාදීමට අතීත IMF වැඩසටහන් අසමත් වී ඇති අතර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගෙන ඇතත්, රටේ දිගුකාලීන සාර්ව ආර්ථික සමතුලිතතාවය නොපවතින්නේ එම නිසා යැයි බොහෝ දෙනා තර්ක කරනවා.

“සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය, අහිතකර බාහිර පරිසරය, නොකඩවා පවතින ඉහළ උද්ධමනයේ ඉහළ අවදානම සහ අභියෝගාත්මක දේශපාලන හා සමාජ තත්ත්වය හේතුවෙන්, මෙවර ණය වැඩසටහනද ක්‍රියාත්මක කිරීම ඉහළ අවදානමකට මුහුණ දෙන” බව IMF විශ්වාසයයි.

ආචාර්ය ගුල්බින් සුල්තානා ‘ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස්’ පුවත්පතේ සිය අදහස් දැක්වීමකදී පෙන්වාදී ඇත්තේ, වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුවද, වැඩසටහන් කාලසීමාව තුළ දිළිඳුකම සහ විරැකියාව තියුනු ලෙස ඉහළ යෑමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

IMF වැඩසටහන යටතේ නිර්දේශිත කප්පාදු කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීම තවදුරටත් ඉහළ යනු ඇති අතර, පවතින ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමේ එකම විසඳුම ලෙස මූල්‍ය අරමුදලේ පැකේජය දෙස පමණක් බලානොසිට, ශ්‍රී ලංකා රජය විසින් අනෙකුත් ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වනවා.

ශ්‍රී ලංකාවේ බරපතල ආර්ථික තත්ත්වය හමුවේ IMF ණය පැකේජයක් ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට සැකයක් නැතත්, මේ මස මුලදී නිකුත් කරන ලද ‘සේව් ද චිල්රන්’ වැනි ආයතනවල වාර්තා ඔස්සේ පෙන්වාදී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පවුල්වලින් අඩකට සිය දරුවන්ට ලබාදෙන ආහාර වේලෙහි කොටස් අඩු කිරීමට සිදුව ඇති බවයි.

එමනිසා IMF විසින් නියම කරන ලද කප්පාදු කිරීමේ පියවරයන්ගෙන් දුප්පත්ම පවුල් ආරක්ෂා කිරීම සඳහා, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා රජය විසින් සහතික කිරීම අත්‍යවශ්‍ය වනවා.

Share This