අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය අපරාධ

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය අපරාධ

අන්තර්ජාලය ඔස්සේ සිදුවන, මූල්‍ය අපරාධ දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වනවා.

මෑත කාලීනව, මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා ගණනාවක්ම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ මෙවැනි පසුබිමකය.

ඒ අතුරින් විශාලතම සිදුවීම වාර්තා වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

එහිදී අනාවරණය වූ ආකාරයට චීන ජාතිකයන් දෙදෙනකු  පවත්වාගෙන ගොස් ඇති මහා පරිමාණ පිරමිඩ ජාවාරමට තවත් චීන ජාතිකයන් දෙදෙනෙක් ඇතුළු 08 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඩිජිටල් මුදල් භාවිත  කරමින් අධික ලාභ ලබාදෙන බව පවසමින් චීන ජාතිකයන් මෙහිදී පුද්ගලයන් රවටා ඇති බවයි හෙළිව ඇත්තේ.

මෘදුකාංගයක් ඔස්සේ ඉතා සංවිධානාත්මකව මෙම ජාවාරම 2020 වසරේ සිට කරගෙන ගොස් ඇත්තේ  සමාජ ජාලයක් පිහිටුවාගෙන ඉතා රහසිගතව බව ද විමර්ශනවලින් අනාරවණය වී අවසන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට, 2020 වසරේ සිට මේ දක්වා මෙම ජාවාරමට පුද්ගලයින් 8000ක් පමණ හසුවී ඇති අතර, චීන ජාතිකයා විසින් වංචා කර ඇති මුදල රුපියල් කෝටි 1500කට අධිකයි

මෙම ජාවාරමට සම්බන්ධ මෙරට නියෝජිතයන් 07 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හරහා ලබාගෙන තිබෙනවා.

මේ හා සමාන, ඊටත් වඩා පුළුල්ව පැතිරුණු සයිබර් මූල්‍ය වංචාවක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පොලිසිය පසුගිය සතියේ සමත් වුණා. එම වංචාවට  39දෙනකුම සම්බන්ධවී සිටි බව අනාවරණය වූ අතර එම පිරිස ද චීන ජාතිකයන් බවයි වාර්තා වුණේ.

සිදුවීම වාර්තාවූයේ අලුත්ගම ප්‍රදේශයෙනි.

එහිදී, අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති වංචාකරුවන් තිදෙනකු ඇතුළු චීන ජාතිකයන් 39 දෙනකු අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටියදී චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග  කළ වැටලීමකින් අනතුරුව අලුත්ගම පොලිසිය විසින් මාර්තු 31වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා

මාස 06ක පමණ කාලයක් තිස්සේ මේ චීන ජාතිකයන් මෙහි රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාවල නිරතව සිට ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර පොලිසිය මගින්  රතු නිවේදන නිකුත් කර ඇති චීන ජාතිකයන් තිදෙනා මෙවැනි වංචා සම්බන්ධයෙන් චීනයට අත්‍යවශ්‍යම පුද්ගලයන් තිදෙනකු බව සඳහන්

මෙම චීන ජාතිකයන් 39 දෙනා මාස 6ක පමණ කාලයක් මෙරට රැඳී සිට ඇති බව වාර්තා වනවා. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති ඔවුන් මෙම නවාතැන් පොළේ මෙතෙක් කාලයක් රැඳී සිට ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම චීන ජාතිකයන් සංවිධානාත්මකව මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ලැප්ටොප් සහ ජංගම දුරකතන දෙමින් ඒ ඔස්සේ අන්තර්ජාල අපරාධවල යොදවා ඇති බව පෙනී යන්නේ යැයිද පොලිසිය පෙන්වා දෙනවා. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේද චීන ජාතිකයන් පිිරිසක් බවයි  හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයන් 33 දෙනකු, කාන්තාවන් 5 දෙනකු සහ කුඩා දරුවකුද සිටිනවා . මෙම පුද්ගලයන් අතුරින් රතු වරෙන්තු නිකුත් කර ඇති චීන ජාතිකයන්  තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 06 දෙනකු චීන තානාපති කාර්යාලය හා පැමිණි නිලධාරීන්ගේ දැඩි අධික්ෂණයටත් ප්‍රශ්න කිරීමටත් ලක්ව ඇති අතර එම පුද්ගලයන් චීන තානාපති කාර්යාල භාරයට පත් කිරීමට අවශ්‍ය පියවරද ගෙන තිබෙනවා.

චීනයේ සිදු වූ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව සඳහන්. මෙම පිරිසෙන් 06 දෙනකු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් බලහත්කාරයෙන් මෙරට රඳවාගෙන සිටි බවයි. චීන තානාපති කාර්යාලය සිය භාරයට ගැනීමට කටයුතු කරන 09 දෙනා අතර ඒ අයද සිටින බව පොලිස් තොරතුරු සඳහන්

අන්තර්ජාල අපරාධ සඳහා යොදාගත්තේ යැයි කියැවෙන මෙම චීන ජාතිකයන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 40ක් සහ ජංගම දුරකතන 120ක් සහ තවත් තාක්ෂණික උපාංග රැසක් සොයා ගැනීමටද පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව විදෙස් ගමන් බලපත්‍ර පවා තිබී නැති අතර  ඒවා මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු විසින් ඔහු සන්තකයේ තබාගෙන සිටින බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබුණා.

මෙරට තරුණ තරුණයන් පිරිසක් තායිලන්තයේ සමාගම්වල පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා යැයි කියා ලාඕසයට රැගෙන ගොස් සිර කරගෙන අන්තර්ජාල වංචාවල යෙදවූ ආකාරයේ වංචාවක් මෙහිදී සිදුවී ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි වාර්තා වනවා

ව්‍යාජ නම්වලින් සමාජ මාධ්‍ය ගිණුම් සකස් කර ඒ මගින්  ලෝකයේ විවිධ රටවල ධනවතුන් සමග  සම්බන්ධකම් ඇති කරගෙන ඒ අයගේ ගිණුම්වලින් මුදල් ලබාගනිමින් අන්තර්ජාල වංචාවන්  මේ වන විට බහුලව සිදු වනවා.

එවැනි ක්‍රියාකාරකම් සඳහා සම්පූර්ණයෙන්ම වැට බැඳීමට දැන් ශ්‍රී ලංකාව ද කටයුතු කළ යුතු වනවා.

 

 

Share This