රත්තොට පිළිස්සුනු සිරුර තලාහේනේ ව්‍යාපාරිකයාගේද? -පොලිසි 3ක් එකම සිරුරක් ගැන පරීක්ෂණ

රත්තොට පිළිස්සුනු සිරුර තලාහේනේ ව්‍යාපාරිකයාගේද? -පොලිසි 3ක් එකම සිරුරක් ගැන පරීක්ෂණ

පසුගිය අප්‍රේල් 21 රත්තොට තේ වත්තක පිළිස්සුනු සිරුර දැනට අතුරුදන් වී ඇති ව්‍යාපාරික චන්දන තිලක් රාජපක්ෂගේ ද යන්න තහවුරු කර ගැනීමට පොලිසියෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

එමෙන්ම, ඔහුගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදුකිරීමට පොලීසිය තීරණය කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

පිලිස්සෙමින් තිබූ මෙම පුද්ගල හිස හා පාද කොටස් දැක ඇත්තේ එම ඉඩමට හරකුන් බැඳීම සඳහා ගිය කාන්තාවක් විසින් .

පසුව එම කාන්තාව මේ සම්බන්ධයෙන් රත්තොට පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණා .

විමර්ශන කළ රත්තොට පොලිසියට ඇති වූ එකම ගැටලුව වූයේ පිලිස්සෙමින් පවතින හිස හා දෙපා කාගේදැයි හඳුනා ගත නොහැකි වීමයි

පසුව මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු රත්තොට පොලිසියට අමතරව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ මාතලේ පොලිස් අපරාධ විමර්ශන අංශය ඒ අනුව විමර්ශන අරඹා තිබෙනවා

දුරකථන අංකයක් ඔස්සේ පරීක්ෂණ ඇරැඹී නිලධාරීන් බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානයක් සොයාගත් අතර එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඊට දින කිහිපයකට කලින් එතැන තිබූ බඩු බාහිරාදිය ඉවත් කරගෙන මාළඹේ, තලංගම උතුර ප්‍රදේශයේ දඹුගහවත්ත පළමු පටුමඟේ නිවෙසකට ගිය බවට සොයාගෙන තිබෙනවා

දඹුගහවත්තට ගිය කොට්ඨාස අපරාධ නිලධාරීන් අනාවරණය කරගත්තේ එම නිවෙස කාන්තාවකට හිමි එකක් බවයි .

තවදුරටත් ඒ කාන්තාවගෙන් තොරතුරු ලබාගැනීමේදී ඇය පවසා ඇත්තේ එක්තරා පුද්ගලයකු ගිය මස 19 වැනිදා කොන්ත්‍රාත් ආයතනයක් විවෘත කරන බව කියමින් තමාට රුපියල් ලක්ෂයක මුදලක් අත්තිකාරම් ලෙස දුන්නද ඔහු 19 වැනිදා එම ආයතනය විවෘත කිරීමට නොපැමිණි බවත්ය.

තමා ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසියටද පැමිණිලි කළ බව ඇය නිලධාරීන් හමුවේ පවසා තිබෙන අතර පසුව කොට්ඨාස අපරාධ නිලධාරීන් එම නිවෙස සියුම් පරීක්ෂාවට ලක්කිරීමේදී එම නිවෙස තුළත් නිවෙසේ බිත්තිවලත් ලේ පැල්ලම් ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා

මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඔහුගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව තලංගම වැඩබලන පොලිස් ස්ථානාධිපති හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත්කොට ඇඟිලි සටහන් නිලධාරීන් හා නිල සුනඛයන් එම නිවෙසට ගෙන්වා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

මේ අතර නාඳුනන අයකුට අයත් මොටෝරියක් අනුරාධපුර ප්‍රදේශයේදී අතහැර ගොස් ඇති බවට තොරතුරු දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුරාධපුර පොලිසිය දැන්වීමෙන් පසු මාතලේ කොට්ඨාස අපරාධ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් එම වාහනය සෝදිසි කිරීමේදී එම වාහනය කාන්තාවකට අයත් එකක් බව දැනගෙන තිබෙනවා

පසුව ඇගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය කියාසිටියේ එම වාහනය තම සොහොයුරාට දී තිබූ වාහනය බවයි .

ඒ අනුව පොලිසියට හැඟී ගියේ මේ වනවිට අතුරුදන්ව සිටින පුද්ගලයා එම වාහනය පදවා ඇති බවය.

ඒ අනුව පොලිසියේ සැකය එල්ල වූයේ පිලිස්සෙමින් තිබියදී සොයාගත් හිස්කබල හා දෙපා කොටස් මෙම අතුරුදන් පුද්ගලයා විය හැකි බවයි

පසුව තවදුරටත් විමර්ශනය කොට අතුරුදන් පුද්ගලයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණියක පිළිබඳ තොරතුරු සොයාගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වූ අතර අතුරුදන් වූ පුද්ගලයා වැල්ලවාය පදිංචිකරුවකු බවත් ඔහු කොළඹට පැමිණ ඇත්තේ 2019 වසරේදී බවත් හෙළිව තිබෙනවා

වැල්ලවාය ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කර ඇති මොහු රුපියල් කෝටි දෙකක සිදුවීමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින්ද සොයමින් සිටි අයකු බවත් , කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මොහුට එරෙහිව නඩු කිහිපයක් ඇති බවත් සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කතාබහ කෙරුණා

Share This