සියලු පාසැල් විවෘත වෙද්දී පොදු ප්‍රවාහන සේවය සෞඛ්‍ය නීති කඩයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා (Video)

සියලු පාසැල් විවෘත වෙද්දී පොදු ප්‍රවාහන සේවය සෞඛ්‍ය නීති කඩයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා (Video)

බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි අද (29) ආරම්භ කළා.

පාසල් ආරම්භ කළ වහාම විභාග සහ වෙනත් තරගවලට දරුවන් යොමු නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් පළාතේ සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු වන අතර ඒ අනුව සිසුන් පහලොව දක්වා සිටින පන්ති සෑම දිනකම පැවැත්විය යුතු වනවා. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් සිසුන් කැඳවිය යුතු වන අතර සිසුන් සංඛ්‍යාව 30කට වැඩි නම් කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු යැයි ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කලේ අද (29) පෙරවරුවේ පාසලට දරුවන් පැමිණීමේදී ප්‍රවාහනය සම්බන්ධව ගැටලු තිබු බවයි. විශේෂයෙන් පාසැල් බස්රථ සහ පොදු ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය උපදෙස් නොතකා දරුවන් වැඩි පිරිසක් ප්‍රවාහනය කල බව ඔහු සඳහන් කළා.

අධ්‍යයන හා අනධ්‍යයන සියලු කාර්ය මණ්ඩල සේවයට පැමිණිය යුතු බවත් එහි සඳහන් වන අතර සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර පළමු වාරයේ නිවාඩුව අප්‍රේල් මස 09 වැනිදා ආරම්භ කෙරෙනවා.

දෙවැනි වාරය සඳහා පාසල් යළි ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් මස 19 වැනිදාය.

මේ අතර කිසිදු බියකින් තොරව ළමුන් පාසල් වෙත එවීමට දෙමව්පියන් පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල්වල අධ්‍යනය කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර කොළඹ අගරදගුරු පදවියට අයත් කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පවත්නා කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් යාපනය අධ්‍යපන කලාපයේ සියලු පාසල් අද සිට සතියක කාලයක් වසා තැබීමට නියමිතව තිබෙනවා.

යාපනය නගරය ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමත් සමඟ එම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Share This