UNICEF සංවිධානයෙන් අනාවරණයක්

UNICEF සංවිධානයෙන් අනාවරණයක්

Covid-19 වසංගතයෙන් ඇති වූ සෞඛ්‍ය සේවා ඇණහිටීම් සහ රටවල් මෙන්ම නගර වසා දැමීම් හේතුවෙන් ලොව පුරා සිටින ළමුන් මිලියන 67 කට අධික පිරිසකට සාමාන්‍යයෙන් ලබාදෙනු ලබන එන්නත් අර්ධ හෝ සම්පුර්ණ වශයෙන් අහිමි වී ඇති බව UNICEF සංවිධානය පවසනවා.

මේ හේතුවෙන් දශකයකට අධික කාලයක සිට සෞඛ්‍යමය වශයෙන් ලබා ගත් ජයග්‍රහණ රැසක් අහිමි වී ඇති බවයි UNICEF සංවිධානය පෙන්වාදෙන්නේ.

ඊට හේතුව ලෙස එම සංවිධානය පෙන්වා දී ඇත්තේ ගෝලීය වශයෙන් පෝලියෝ සහ සරම්ප රෝගවල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබීමයි.

රටවල් 112 ක පමණ ළමුන් අතර සිදු කළ එන්නත් ආවරණය පහළ ගොස් ඇති අතර අප්‍රිකාව සහ දකුණු ආසියානු රටවල ළමුන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දී ඇති බවයි UNICEF සංවිධානය පෙන්වා දී ඇත්තේ.

1963 වසරේ දී එන්නතක් හඳුන්වාදීමට පෙර සරම්ප රෝගය හේතුවෙන් සෑම වසරකම මිලියන 2.6 ක් පමණ පිරිසක් මිය ගිය අතර ඉන් වැඩි පිරිසක් ළමුන් වූ බව සඳහන්.

කෙසේවෙතත් 2021 වසර වන විට එම සංඛ්‍යාව 128,000 දක්වා පහත වැටී තිබුණා.

එමෙන්ම 2019 සහ 2021 වර්ෂ අතර කාලසීමාව තුළ සරම්ප රෝගයට එරෙහිව එන්නත් කරන ලද ළමුන්ගේ ප්‍රතිශතය 86% සිට 81% දක්වා පහත වැටී තිබූ බව UNICEF සංවිධානය සඳහන් කර තිබෙනවා.

Share This