අංශ භාග වුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ සන්නිවේදන පද්ධති නවීකරණය

අංශ භාග වුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ සන්නිවේදන පද්ධති නවීකරණය

දිනපතා සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ දෙපාර්තමේන්තුවේ තවත් අඩුපාඩු මඟහරවා ගැනීමට රුපියල් කෝටි ගණනක වියදමින් හඳුන්වාදුන් සන්නිවේදන ව්‍යාපෘතියක් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවීමේ තත්ත්වයක් ද උද්ගතව තිබෙනවා.

මගී සහ භාණ්ඩ ප්‍රවාහනය විධිමත් කරමින් සහ තිරසර ආර්ථික සංවර්ධනයකට දායකවීම අරමුණු කරගනිමින් දුම්රිය කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2018 වසරේදීයි.

ඒ යටතේ දුම්රිය මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රියේ සන්නිවේදන පද්ධති නවීකරණය කිරීමටත් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

එහෙත් එය ක්‍රියාත්මක කිරීමේදී බරපතල අක්‍රමිකතා හා අඩුපාඩු රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් සිදුකළ විමර්ශනයකදී හෙළිව තිබෙනවා.

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩිදියුණු කිරීමට වසර 05ක් තුළ වැය කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7.35ක්.

ඒ යටතේ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ දුම්රිය අතර අන්තර් සබඳතාව ඇති කිරීම සඳහා විශේෂ සන්නිවේදන උපකරණ 233ක් දුම්රිය එන්ජින් කාමර තුළ සවි කරනු ලැබුවා.

MI -01 ලෙසින් හඳුන්වන එම දුරකථන සවිකර තිබුණත් විගණනයෙන් හෙළිව තිබෙන්නේ ඒවා 2023 වසරේ ජනවාරි සිට මැයි දක්වා ඒවා භාවිත කර තිබෙන්නේ දුම්රිය රියදුරන් අතරින් මාසික සාමාන්‍ය ලෙස උපාංග 21 ක් පමණක් බවයි.

ඒ අනුව දුරකථන 233ක් කින් භාවිත කර ඇති සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 8%ක්.

දුම්රිය රියදුරන් අදාළ චක්‍රලේඛවල උපදෙස්වලට බැහැරව සිය අභිමතයට අනුව ක්‍රියා කිරීම, භාවිතයට නොගැනීම හා වෙනත් හේතු මත රුපියල් මිලියන 274 ක් තරම් මුදලක් වැය කර සවිකළ මේ උපකරණ කැඩී තිබුණුබව විගණනයේදී හෙළිව තිබෙනවා.

මෙම සන්නිවේදන වැඩපිළිවෙල යටතේම එකක් රුපියල් 67,522 බැඟින් ජංගම දුරකථන 1951 ක් මිලදී ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගෙන තිබුණත් ඒවා භාවිත කිරීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 03%ක් ලෙසයි.

රත්මලාන ප්‍රධාන යාන්ත්‍රණික උප දෙපාර්තමේන්තුවට එම දුරකථන අතරින් 27ක් ලබාදී තිබුණත් ඉන් එකක්වත් භාවිතයට නොගැනීම පුදුම සහගතයි.

මෙම ජංගම දුරකථන ව්‍යාපෘතිය සඳහා වැය කර තිබූ මුළු මුදල 131,795,189ක්.

දුම්රිය සන්නිවේදන පද්ධති දියුණු කිරිමේ වැඩපිළිවෙළේ තවත් අංගයක් ලෙස දුම්රිය පාලන මෙහෙයුම් මධ්‍යස්ථාන, දුම්රිය ස්ථාන හා පාලන කාර්ය මණ්ඩල අතර අන්තර් සබඳතාව ඇති කිරීම සඳහා එකක් රුපියල් 58,038 බැඟින් ස්ථාවර දුරකථන 1239ක් රුපියල් 171,909,303ක් වැය කර ලබාදී තිබුණත් ඉන් 40%ක් ම භාවිතයට ගෙන නැහැ.

ඉතිරි 60% ද භාවිතයට ගැනීමේදී ඇති වූ ගැටලු නිසා ලැබී ඇත්තේ අසාර්ථක ප්‍රතිඵලයක් බවත් විගණන වාර්තාව පරිශීලනයේදී පෙනී යනවා.

අදාළ දුම්රිය විගණන වාර්තාවන් පෙන්වා දී ඇති තවත් කරුණක් වන්නේ ආරක්‍ෂාව හා ඵලදායිතාව වර්ධනය කිරීමේ අරමුණින් රුපියල් 7,989,203 ක් වැය කර මරදාන, අනුරාධපුරය හා නාවලපිටිය දුම්රිය පාලක මධ්‍යස්ථානවල සවිකළ SMD සහ VRD උපකරණ ද දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවීම නිසා ඩිස්පැචර් උපාංග ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමෙන් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

රියදුරන්ගේ මෙම ක්‍රියාකලාපය මත අදාළ සෙසු උපාංග විගණන පරීක්‍ෂාව කරන විට පැවති ඇත්තේ නිෂ්ක්‍රිය තත්ත්වයේයි.

මෙවන් පසුබිමක් තුළ අමෙරිකානු ඩොලර් 7,348,345 ක් හෙවත් රුපියල් 1,951,230,162 ක පිරිවැයක් දරා ස්ථාපිත කරන ලද නවීන දුම්රිය සන්නිවේදන පද්ධතියෙන් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවන බවත්, විගණනාධිපතිවරයා සිය විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

මෙවන් පසුබිමක් මත එම සන්නිවේදනයේ ගත යුතු නිර්දේශ 10ක්ද ලබාදී තිබෙනවා.

ඒ අතරින් පළමුවැන්න වන්නේ අදාළ සන්නිවේදන පද්ධතියට අදාළ උපාංග රූපකාරී කටයුතු සඳහා භාවිත කිරීම අනිවාර්ය කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිකුත් කළ චක්‍ර ලේඛය ප්‍රකාරව කටයුතු නොකරන නිලධාරීන්ට රාජකාරී කටයුතු පැහැරහැරීම මුල් කරගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමයි.

 

Share This