අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක් නම් කරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක් නම් කරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය ඉන්දීය නිල සංචාරය අතරතුර ඇය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේ සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (16) එක් වුණා.

එහිදී විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ “හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය” ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඉගෙන ගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමග බෙදා ගැනීමට අගමැතිනිය අමතක කළේ නැහැ.

සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘අධ්‍යාපනය යනු හුදෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමක් පමණක් නොවන බවත්, එමඟින් අන් අයගේ අනාගත අභිවෘද්ධිය සඳහා ද අපව සූදානම් කරන බවත්’ සඳහන් කළා.

කුතුහලය, සහකම්පනය සහ විවේචනාත්මක චින්තනයේ වටිනාකම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය සියලු දෙනා ඇතුළත් වන සාධාරණ සමාජයන් නිර්මාණය කිරීමේදී , සානුකම්පිත, ප්‍රජාතාන්ත්‍රික සහ ක්‍රියාකාරී පුරවැසියෙකුගේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළා.

හින්දු විද්‍යාලයීය නිරීක්ෂණ චාරිකාවෙන් පසු, අග්‍රාමාත්‍යවරිය 2015 වසරේ දී ක්‍රමසම්පාදන කොමිසම වෙනුවට පිහිටුවන ලද ඉන්දීය රජයේ ප්‍රතිපත්ති සංවර්ධන සහ පර්යේෂණ ආයතනයක් වන NITI Aayog හෙවත් ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

මෙම නිරීක්ෂණ චාරිකාව හරහා අධ්‍යාපනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලනය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටින බැවින්, NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතන නිරීක්ෂණ චාරිකාව මඟින් Atal Innovation Mission (AIM) සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පර්යේෂණ, නිර්මාණශීලී හැකියාවන් සහ ඩිජිටල් ඉගෙනීම් කටයුතු පෝෂණය කිරීම සඳහා එමඟින් සිදුවන ප්‍රවේශය ඇතුළු ඉන්දියාවේ පරිවර්තන අත්දැකීම් කෙරෙහි අගමැතිනියගේ අවධානය යොමු කර තිබෙනවා.

 

 

Share This