
අග්‍රාමාත්‍යවරිය සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට යයි
අග්‍රාමාත්‍යවරිය සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට යයි
කොළඹ දී පැවති සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (20) සහභාගී වුණා.
සිවිල් සේවකයෙකු සහ සෙනෙට් සභිකයෙකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් මහතා විසින් ආරම්භ කරන ලද සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමය, තරුණයින්ට සහ ප්‍රජා සහභාගීත්වයට අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බවට ඇති විශ්වාසය මත ස්ථාපිත කරන ලද අතර වසර ගණනාවක් පුරා, මෙම දැක්ම ඉදිරියට ගෙන යමින් කටයුතු කරනවා.
පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර ඇති පුණ්‍යායතන සංවිධානයක් ලෙස පිළිගත් සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමය සමාජ සුභසාධනය සහ ප්‍රජා සංවර්ධනයේ කුළුණක් ලෙසයි හැඳින්වෙන්නේ.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය සභාව අමතමින් පැවසුවේ තරුණ කාන්තා මුස්ලිම් සංගමයේ (YWMA) ‘කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ සහ ‘පාසලට ආපසු යාමේ වැඩසටහන’ වැනි මුලපිරීම් හරහා මුස්ලිම් කාන්තාවන්ට සහාය වීමට YMMA සංගමය මඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම ඉතාමත් ප්‍රශංසනීය බවයි.
එවැනි වැඩසටහන් පුද්ගල සංවර්ධනය සඳහා පමණක් නොව, සමස්තයක් ලෙස සමාජයටම වටිනාකමක් එක් කරන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.
වසර 75 ක සේවා කාලය පිළිබඳ අපි මෙලෙස මෙනෙහි කරනවා මෙන්ම ඉදිරිය දෙසත් බැලිය යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළා.
විරැකියාව සහ සමාජයෙන් කොන්වීම ඇතුළුව අද තරුණයින් මුහුණ දෙන අභියෝගවලට රජය, සිවිල් සමාජය වගේම YMMA වැනි සංවිධාන අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.
” විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්පූර්ණ කිරීමෙන් පසු ගැහැණු ළමයින්ට සාපේක්ෂව පිරිමි ළමයින් වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ අනුපාතයක් ඇති බව දැනට පවතින දත්තවලින් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා තරුණ පිරිමි දරුවන්ට උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන පුහුණුව හැදෑරීමට ඇති අවස්ථා සීමා කරනවා. එබැවින් ඉගෙනුම් මාර්ග සඳහා මඟ පෙන්වීම මඟින් පිරිමි දරුවන්හට අධ්‍යාපනය දිගටම කරගෙන යාමට දිරිගැන්වීම සහ සහාය දීම අත්‍යවශ්‍යයි.” අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පැවසුවා.