අපවත්වූ හිමිවරුන්ගේ දේහයන් නාඋයන ආරණ්‍ය සේනාසනට

අපවත්වූ හිමිවරුන්ගේ දේහයන් නාඋයන ආරණ්‍ය සේනාසනට

කුරුණෑගල මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත්වූ හිමිවරුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිදු කර ඇති අතර උන්වහන්සේලාගේ දේහයන් මැල්සිරිපුර නගර මධ්‍යයේ සිට අද පෙරවරුවේ රිය පෙරහරකින් මැල්සිරිපුර – පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ වෙත රැගෙන විත් තිබෙනවා.

එමෙන්ම, අනතුරින් අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්දෙනාගේ ආදාහන පූජෝත්සවයන් හෙට පස්වරු 01.30ට ආරණ්‍ය සේනාසනයේම සිදුකිරීමට නියමිතයි.

පෙරේදා රාත්‍රියේ භික්ෂූන් වහන්සේ 13 නමක් කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් භාවිත කරමින් භාවනා කුටි වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබූ අතර, එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වුණා.

ඩක්කුවේ ආධාරකය යම් දෝෂයකට ලක්වී වේගයෙන් පහළට ඇදී ගොස් මෙම අනතුර සිදුව තිබු බවටයි තොරතුරු අනාවරණ වුණේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ධාරිතාව ඉක්මවා මෙම ඩක්කුවේ ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.

අදාළ ඩක්කුවෙහි උපරිම ධාරිතාව වන්නේ කිලෝග්‍රෑම් 500ක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අපවත්ව ඇත්තේ පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, ඉන්දීය ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි, පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි, රුමේනියානු ජාතික, පූජ්‍ය ධම්මරංසි හිමි සහ රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමියන්.

අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද සිටිනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, උන් වහන්සේ දෙනමකගේ තත්ත්වය තවදුරටත් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය ඊයේ මහව මහේස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න මෙනවිය විසින් සිදුකළ අතර අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ.

ඒ සදහා යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සහය ලබාගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා.

එමෙන්ම මෙහිදී යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

අනතුරින් අපවත්වූ භික්ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

මේ අතර අපවත්වූ හිමිවරුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිදු කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේලාගේ දේහයන් මැල්සිරිපුර නගර මධ්‍යයේ සිට රිය පෙරහරකින් මැල්සිරිපුර – පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ වෙත අද පෙරවරුවේ මෙලෙස රැගෙන එනු ලැබුවා.

ඒ මාර්ගය දෙපස රැඳීසිටි ජනතාවගේ සෝසුසුම් මධ්‍යයේයි.

උන්වහන්සේලාගේ දේහයන් නාඋයන ආරණ්‍ය සේනාසනයට රැගෙන ඒමෙන් පසු සිදු කරනු ලබන ආගමික වතාවත්වලින් අනතුරුව විදෙස් භික්‍ෂුන් වහන්සේගේ දේහයන් අදාළ රටවලට වැඩමකරවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම අනතුරින් අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව් දෙනාගේ ආදාහන පූජෝත්සවයන් හෙට පස්වරු 01.30ට ආරණ්‍ය සේනාසනයේම සිදුකිරීමට නියමිතයි.

 

 

 

 

 

 

Share This