අමෙරිකාවේ ප්‍රාන්ත 7කට ටොනාඩෝ කුණාටු සහ ගිගුරුම් වැසි – දකුණු ප්‍රාන්තවල දැඩි උෂ්ණත්වයක්

අමෙරිකාවේ ප්‍රාන්ත 7කට ටොනාඩෝ කුණාටු සහ ගිගුරුම් වැසි – දකුණු ප්‍රාන්තවල දැඩි උෂ්ණත්වයක්

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතක් පුරා හමා ගිය දැවැන්ත ටොනාඩෝ කුණාටු හා ගිගුරුම් සහිත වැසි හේතුවෙන් 23 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිවාස තුන් ලක්ෂයක පමණ විදුලිය විසන්ධි වී ගොස් ඇති බවද සඳහන්.

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සිට නිව්යෝර්ක් ප්‍රාන්තය දක්වා ප්‍රාන්ත හතකට බලපා ඇති මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතිනු ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු ජාතික කාලගුණ සේවාව මෙහිදී නිව්යෝර්ක්,පෙන්සිල්වේනියා, නිව් ජර්සි හා මේරිලන්ඩ් ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක් ඇද හැළෙනු ඇතැයි අවධාරණය කර ඇති බවයි කාලගුණ වාර්තාවල දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රාන්තවල පැයට කිලෝ මීටර් 120 කට වඩා වැඩි වේගයකින් හමා යන සුළං පවතිනු ඇති බවටත් ගිගුරුම් සහිත වර්ෂාව මෙන්ම දරුණු ජල ගැලීම් හටගනු ඇති බවටත් කාලගුණ සේවාව විසින් අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය ඉරිදා පමණක් අමෙරිකාවේ එක්සත් ජනපදයේ ප්‍රාන්ත 20කින් කුණාටු නිසා ඇති වූ ආපදා තත්ත්වයන් 600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන්ඩියන්පොලිස් ප්‍රාන්තයේ පැවති ධාවන තරගයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් එක් ලක්ෂ විසිපන්දහසක් පමණ ප්‍රදේශයට බලපෑ ගිගුරුම් සහිත වැසි හා අකුණු හේතුවෙන් ප්‍රේක්ෂකාගාරවලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගනු ලැබුවා.

මේ අතර ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට මෙම දරුණු වැසි හා සුළං හේතුවෙන් බලපෑම් එල්ල වී තිබියදී එරට දකුණුදිග ප්‍රාන්තවලට මෙම දිනවල අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් බලපා ඇති අතර එම ප්‍රාන්තවල උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This