
අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම කදුකරයේ ජන ජීවිතයට බාධා
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (26) දින රාත්‍රියේ සිට හමා යන දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ආපදා රැසක් සිදු වීම නිසා ජන ජීවිතයට ගැටළු රැසක් මතු වී තිබෙනවා.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) අලුයම ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.
හැටන් පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අභියස පිහිටි විදුලි සහ දුරකථන කණු කිහිපයක් කැඩී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හැටන් වනරාජා වත්තේ වතු නිවාස පේළියක් මතට අඹ ගසක් කඩා වැටීමෙන් වතු නිවාස 03ක වහලවල් සහ මුළුතැන්ගෙයි බිත්තිවලට අලාභ හානි සිදු වී තිබෙනවා.
පවත්නා දැඩි සුළං තත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතිය මතට ගස් සහ ගස්වල අතු කඩා වැටීමෙන් හැටන්, නෝර්වුඩ්, කොටගල, නෝර්ටන් යන ප්‍රදේශවල විදුලි බලය සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශවලට කඩිනමින් විදුලි බලය ලබා දීමට පියවර ගන්නා බවයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිළධාරියෙකු පැවසූයේ.