අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ නිවසක් හම්බන්තොට මයුරපුරෙන්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ නිවසක් හම්බන්තොට මයුරපුරෙන්

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් අතර සිටි පානදුර නිලංග නමැත්තාගේ ගෝලයෙකු වන ඇඹිලිපිටිය සුරංග නමැත්තාගෙන් කළුතර අපරාධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 21 හැවිරිදි තරුණයෙකු පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවසක ඇති බවට ඔහු හෙළිකර ඇති අතර, ඒ පිළිබඳ පරීක්‍ෂා කිරීමට විමර්ශන නිලධාරීන් ඊයේ හම්බන්තොට මයුරපුර ප්‍රදේශයට ගොස් තිබුණා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් බවට සැකකෙරෙන යම් රසායනික දියරයක් සොයාගෙන ඇති අතර, ලීටර 4 බැඟින් අඩංගු කෑන් 13ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ දියරය රස පරීක්‍ෂක වාර්තාවක් මඟින් තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ නිවසේ එක් කාමරයක් විද්‍යාගාරයක් ලෙස සකසා තිබී ඇති අතර එහි සිට ඉරාන ජාතිකයන් තිදෙනෙකු මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවත්, එම ඉරාන ජාතිකයන් මේ වනවිට රටින් පලාගොස් ඇති බවටත් දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සැකකාර ඉරාන ජාතිකයන් තිදෙනා තාවකාලිකව රැඳී සිටි බව කියන හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක්ද පරීක්ෂාව ලක්කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇතත් මීට මාස කිහිපයකට පෙර ඔවුන් එම හෝටලයෙන් ද පිටත්ව ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Share This