අවසන් තරගයට සූදානම් වෙන්න ඉන්දියාවට අවස්ථාවක්

අවසන් තරගයට සූදානම් වෙන්න ඉන්දියාවට අවස්ථාවක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරගය අද (15) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය පස්වරු 03.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම මේ වන විටත් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව අද පැවැත්වෙන මෙම තරගය ඔවුන්ට අවසන් තරගයට සූදානම් වීම සඳහා හොඳ අවස්ථාවක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් අවසන් මහා තරගයට පිවිස සිටින ඉන්දියාව ඔවුන්ගේ ඇතැම් ක්‍රීඩකයන් මෙම තරගයේදී විවේක ගැන්වීමට බොහෝදුරට ඉඩ පවතින බව සඳහන්.

මේ අතර ඊයේ (14) පැවති තියුණු තරගයකින් අනතුරුව පාකිස්ථානය කඩුලු 2කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව එළඹෙන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලානය හිමි කර ගැනීම වෙනුවෙන් තරග
වැදීමට නියමිතයි.

ඊයේ දිනයේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්වූ අතර පන්දු 87ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

මෙන්ඩිස්ට අගනා සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතව ජයග්‍රහණය කරා රැගෙන යාමට අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 49ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කළා.

කෙසේවෙතත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට සඳහා වූ ඉලක්කයද පන්දුවාර 42කදී ලකුණු 252ක් දක්වා අඩුකෙරුණා.

ඒ අනුව අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමි කර ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 11 වන අවස්ථාව මෙය වනවා.

Share This