
අස්වැන්න සඳහා සහතික මිලක් ඉල්ලා ඌව – වෙල්ලස්සේ බඩඉරිඟු ගොවීන් පිරිසක් සත්‍යග්‍රහයක
බඩඉරිගු සඳහා සහතික මිලක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අද උදෑසන කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි ඌව වෙල්ලස්සේ බඩඉරිඟු ගොවීන් පිරිසක් එහි පැය 05ක පමණ කාලයක් සත්‍යග්‍රහයක නිරත වුණා.
අනතුරුව එම ස්ථානයට පැමිණි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් ඔවුන්ට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියා.
බඩඉරිගු සඳහා සහතික මිලක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්සේ බඩඉරිගු ගොවීන් පිරිසක් කෘෂිකර්මා අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ නිහඬ විරෝධතාවක නිරත වුණා.
අදාළ පිරිස කෘෂිකර්ම අමාත්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යවරයා පැමිණෙන තුරු එම ස්ථානයේම තවදුරටත් රැඳ සිටියා.
පසුව එම ස්ථානයට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැමිණියා.
අනුරාධපුර, ගලෙන්බිඳුනුවැව, මානන්කට්ටිය ප්‍රදේශයේ වගාකළ තල අස්වනු මේ වන විට එම ගොවීන් නෙලමින් සිටින අතර, වෙළඳපොලේ තල සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් එම ගොවීන් පත්ව සිටින්නේ දුෂ්කර තත්ත්වයකටයි.
ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ මහවැලි සී කලාපයට අයත් අරලගංවිල, කජුවත්ත ප්‍රදේශයේ වී ගොයමට මේ වනවිටත් දින 55ක පමණ කාලයක් ගතවී ඇතත් තවමත් පොහොර නොලැබීම හේතුවෙන් එම ගොයම් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි.
පොහොර හිඟය පිළිබඳව දැනුවත් කිරීමට සමස්ත ලංකා ගොවිජන එකමුතුවද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පොහොර හිඟය කෘතීමව මවන ලද්දක් බවයි.
කෙසේ නමුත් ඉඩම් වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා තඹුත්තේගම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඉදිරියේදී පොහොර හිඟ නගරවලට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර රටපුරා පොල් වගාව ආශ්‍රිතව පැතිර ගොස් ඇති මයිටා හා සුදු මැස්සා රෝග පාලනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම වැඩසටහන යාපනයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී අදාළ රෝගය සහිත පොල් ගස් සේදීමට ද නියමිතයි.
මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී බිත්තර මිල ගණන් තීරණය කළ බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.
බිත්තර වෙළඳාමේදී අතරමැදියන් අධික ලාභයක් ඉපයීම වැලැක්වීමේ පියවරක් ලෙස අද සිට දෛනික බිත්තර මිල අන්තර්ජාලයේ පළ කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.