අස්වැසුම ගැන සුබ පණිවිඩයක්

අස්වැසුම ගැන සුබ පණිවිඩයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.3ක මුදලක් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ථ ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත මුදාහැර තිබෙනවා.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024 03. 31 දක්වාත්, සංක්‍රාන්තික කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභින්ට රුපියල් 2500 බැගින් 2023 ජූලි මස සිට 2023.12.31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇති බව සඳහන්.

ඒ යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ගෙවීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/ කොමසාරිස් ජයන්ත වීරරත්න මහතා සඳහන් කර තිබෙනවා.

Share This