ආධාර හරියට බෙදාගන්නට බැරිවෙලා ද?

ආධාර හරියට බෙදාගන්නට බැරිවෙලා ද?

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා, අඛණ්ඩ ආර්ථික අර්බුද මධ්‍යයේ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ප්‍රශංසා කළ අතර දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ කැමැත්ත ප්‍රකාශ කරනු ලැබුවා.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී රටට සහය වීම සඳහා ‘විදේශ ආධාර සංගමයක්’ පිහිටුවීමට ප්‍රමුඛත්වය ගැනීමට ක්වාඩ්(QUAD0 කණ්ඩායමට(ඉන්දියාව,ජපානය,එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව) කරන ලද යෝජනාවට ඉන්දියාව සහ ජපානය දක්වන ප්‍රතිචාරය පිළිබඳව තමා කෘතඥ වන බවද අගමැතිවරයා සනදහන් කරනු ලැබුවා.

මේ මස ආරම්භයේදී ඉන්දියාව සහ ජපානය වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහීම සැලකිල්ලට ගනිමින් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟතාවකට පැමිණුනා. ඉන්දියාව පිළිබඳව අගමැතිවරයාගේ මෙම ප්‍රශංසා පළකෙරුණේ සිය අසල්වැසියා වන ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ ටොන් 25ක් සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කළ දිනයේදීමය.

ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් වැඩ බලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත 2022 මැයි 27 වන දින එනම් පසුගිය සිකුරාදා කොළඹ දී භාර දෙනු ලැබුවා. සාගර් IX (SAGAR) මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර තොගය කඩිනමින් ශ්‍රී ලංකාවට භාර දීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ (INS) ටොන් 5600ක ලෑන්ඩින් නෞකාවක් වන ඝාරියල් නෞකාව යොදවා තිබුණා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් 2022 මාර්තු මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් මෙරට වෛද්‍ය ‍ ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙනු ලැබුවා.

දැන් ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගයෙන් එම අවශ්‍යතාවලින් කොටසක් සපුරාලනු ඇති. මෙයට අමතරව, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබාදීමට නියමිතය.

2022 අප්‍රේල් 29 වන දින ද පේරාදෙණිය රෝහල සඳහා විශාල වෛද්‍ය සැපයුම් තොගයක් INS ඝාරියල් නෞකාව විසින් දිවයිනට රැගෙන එනු ලැබුවා. මෙම මානුෂීය ආධාර තොගය මූල්‍යාධාර, විදේශ විනිමය සහය, ද්‍රව්‍යමය ආධාර ආදි විවිධ අයුරින් ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමට ඉන්දියාව ගන්නා ප්‍රයත්නයන් හි කොටසක් වශයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා. ‍

මෙම සහයෝගයන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිඹිබු කරන බවත් ඉන්දියාව පවසනවා. “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ මූලිකාංගය වන්නේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමය. මෙම ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ තම සහෝදර සහෝදරියන් වෙත ඉන්දීය ජනතාව විසින් සිදු කරන නිර්ලෝභී පරිත්‍යාගයන්ගෙන් තවත් සවිමත් වී ඇති බවත්, එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් දෙරට ජනතාව විසින් ලබාදෙන ප්‍රමුඛතාවය මෙම සහයෝගයන් සහ කැපවීම තුළින් පෙන්නුම් කෙරෙන බවත් වැඩිදුරටත් පැවසෙනවා.

මීට අමතරව ඉන්දියාව විසින් මෙරටට සැපැයීම ආරම්භ කර ඇති ආහාර ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගද මේ වන විට රට පුරා බෙදාහැරිම ආරම්භ කර තිබෙනවා. ඒවා බෙදාහැරිම සම්බන්ධීකරණය කෙරෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාය. එම වැඩසටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභින් හා වතුකරයේ ජනතාව වෙත ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 28වන දින සිදුකෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා සහල් මෙට්ට්‍රික් ටොන් 1750ක් හා කිරි පිටි මෙට්ට්‍රික් ටොන්21ක් ලැබිමට නිමිත බවත්, දිස්ත්‍රික්කයේ එක් පවුලක් සදහා සහල් කිලෝ 10 බැගින් ලබා දිමට පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

නුවරඑළිය එක් උදාහරණයක් පමණයි. උතුර සහ නැගෙනහිර යන දෙපළාත ඇතුළුව දිවයිනේ තවත් ප්‍රදේශ රැසකම මෙම ඉන්දියානු ආධාර තොගය බෙදාහැරෙමින් තිබෙනවා. ඉහතකී වෛද්‍ය සැපයුම්වලට අමතරව ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා භූමිතෙල් තොගයක් ද මෙරටට රැගෙන ආ බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වාදෙනවා. ලංකා ධීවර වරාය සංස්ථාව හරහා ඉදිරි දිනවලදී මෙම භූමිතෙල් තොගය ධීවරයින්ට බෙදාදීමට නියමිතයි. ඒ අනුව භූමිතෙල් හිඟය හේතුවෙන් බරපතල කඩාවැටීමකට ලක්වෙමින් පවතින මෙරට ධිවර ජනතාවගේ ජිවන තත්වයට එය යම් සහනයක් ගෙනෙනු ඇති.

කෙසේවෙතත් මෙම ආධාර ශ්‍රී ලංකාව තුල කළමනාකරණය කිරීමේදී සැළකිවයුතු ගැටළු රැසක් උද්ගතව තිබෙන බව නම් නොරහසක්. ඊට ඇති ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ මෙම ආධාර කළමනාකරණය භාරව කටයුතු කරන දේශපාලනඥයන් සහ රජයේ නිලධාරින් බහුතරයක්ම පසුගිය වකවානුවේ, සිය රාජකාරී බලය භාවිත කරමින් විවිධ ජාවාරම්වලට හුරුවී සිටීමය.

අදාළ අමාත්‍යංශ හරහා සිදුකෙරෙන මිලදී ගැනීම්වලදී කොමිස් ලබාගැනීමට කටයුතු කරන මෙම පිරිස රටට ලැබෙන ආධාර තොග බොහෝවිට නිසිපරිදි බෙදාහැරීමට පියවර ගන්නේ නැහැ. ඒ, අත්‍යවශ්‍ය ආහාර හෝ ඖෂධ හිඟය දිගින් දිගටම පවත්වාගනිමින් කෙසේහෝ හදිසි මිලදීගැනීම් සිදුකිරිම වෙනුවෙනි. දැඩි භාණ්ඩ හිඟයක් පවතින අවස්ථාවල ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකෙරෙන හදිසි මිලදී ගැනීම්වලදී විශාල ලෙස කොමිස් ලබාගත හැකි බව ප්‍රසිද්ධ රහසක්.

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලැබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ වෙනුවෙන්වූ ආධාර විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් කළමනාකරණය කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව හවුල් ගිණුමක් ඇතුළුව ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා පවසා තිබෙන්නේ මෙවැනි චෝදනා එල්ලවන පසුබිමකය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ පවතින දුෂිත ස්වභාවය හේතුවෙන් මේ මොහොතේ ලැබෙන ආධාර අවභාවිත කිරීමට සහ ගසාකෑමට පැහැදිලි ඉඩක් පැවතීම මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුව බව ඇමතිවරයා පෙන්වාදී තිබෙනවා. එහෙත් ගැටලුව වන්නේ මෙලෙස ආරක්ෂත ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත්වන ඇමතිවරයාටම විවිධ පාර්ශ්ව වෙතින් ආධාර කළමනාකරණය පිළිබඳවම චෝදනා එල්ලවීමයි. උදාහරණයක් ලෙස, පසුගිය දිනෙක පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංගමයේ භාණ්ඩාගාරික ඉන්දික ජයවර්ධන පෙන්වාදුන්නේ මෙම අසීරු මොහොතේ රටට උපකාර කිරීමට ඉදිරිපත්වන පාර්ශ්වයන්, මෙරටට එවීමට සුදානම් වන භාණ්ඩ භාරගැනීමට පවා රජයේ වගකිවයුතු කිසිවකුත් ඉදිරිපත් නොවන බවයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට කුවේට්හි පදිංචිකාරියක විසින් මෙරටට ආධාර වශයෙන් එවීමට සුදානම් කර ඇති අත්‍යවශය ඖෂධ ඇතුලත් කන්ටේනරයක් භාරදීමට දින ගණනක් තිස්සේ සෞඛ්‍ය ඇමතිවරයා හෝ අගමැතිවරයා සමබන්ධාකර ගැනීම සිදුකළ නොහැකිව ඇති බවයි.
එමනිසා, විශේෂයෙන් මෙම අත්‍යවශ්‍ය මොහොතේ ඉන්දියාවෙන් ලැබෙන ආධාර තොග නිසිපරිදි කළමනාකරණය කිරීම සඳහා කඩිනමින් නිසි ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ වගකීමක් බවට පත්වෙනවා.

එසේ නැතිනම් සිදුවන්නේ මෙම ආධාර ලබාදීමේ ක්‍රියාදාමය දෙස බලා මෙරටට ආධාර ලබාදීමට සුදානම් වන පාර්ශ්වයන් අනිවාර්යයෙන්ම කලකිරීමට පත්වීමය. අනෙක් අතට හිස ඔසවාගනිමට නොහැකි ආර්ථික පිඩනයකින් පසුවන ජනතාවද, තමන් වෙනුවෙන් ලැබෙන ආධාර ගසාකෑමට හෝ විනාශවීමට වගකිවයුත්තන් තවදුරටත් ඉඩසලසන බව දුටුවහොත් පෙර පරිදි නිශ්ශබ්දව පසුවේයැයි අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා හොඳම උදාහරණය අපට පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයට පහරදීමෙන් අනතුරුව සිදුවූ ජනතා නැගිටිමේදී හොඳින්ම දැකගැනීමේ හැකියාව ලැබුණා.

 

Share This