
ආපදා සහන සලසන්න තවත් රටවල් කිහිපක විදේශ ආධාර දිවයිනට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බොහෝ රටවලින් තවදුරටත් මානුෂීය ආධාර ලැබෙමින් පවතිනවා.
මියන්මාරයේ සිට ආධාර රැගත් ගුවන් යානයක්ද ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ අතර, ඊයේ දහවල් ස්විට්ස්ර්ලන්ත යානයක් ද පැමිණියා.
සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත මෙම ආධාර තොගය භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, ඇතුළු මියන්මාර රජයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැලසුම් අංශයේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් එම ආධාර තොගය භාර ගැනීමට කටයුතු කළා.
මේ අතර ඉන්දියාව දියත් කළ සාගර බන්දු මෙහෙයුම යටතේ ආධාර රැගත් 9 වැනි ගුවන්යානයත් ඊයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.
අඩි 110ක් දිගැති සහ මෙ.ටො.65ක් බර පාලමක්, ජේ.සී.බී. යන්ත්‍රයක් ඇතුළු පසු ආපදා කළමනාකරණයට අවශ්‍ය මෙවලම්ද එම ආධාර තොගයට ඇතුළත්.
මෙරට සහන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ඉන්දීය යුද හමුදාවේ ඉංජිනේරුවන් 13කුද ඒ සමග පැමිණ තිබෙනවා.
ස්විස්ටර්ලන්ත රජයද ඊයේ විශේෂ ආධාර තොගයක් මෙරටට යොමු කර තිබෙනවා.
එම ආධාර රැගත් ගුවන් යානය ඊයේ කටුනායකට ළගා වූ අතර, ජලය පිරිසිදු කරන උපකරණ ඇතුළු මෙ.ටො. 2.6ක ආධාර එලෙස රැගෙනවිත් තිබෙනවා.
මේ අතර ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අයර්ලන්තයද යුරෝ ලක්ෂ 05ක විශේෂ ආධාරයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජය ඊයේ නිවේදනය කර තිබුණේ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කළ ආධාර මුදල පවුම් මිලියනයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.
මේ අතර කැනඩාවද ඩොලර් මිලියනයක විශේෂ ආධාරයක් මෙරටට ලබාදීමට තීරණය කර ඇති බව එරට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ රාජ්‍ය ලේකම් රන්දිව් සරායි ප්‍රකාශ කර තිබෙනවා.


