ආපදාවෙන් පසු යළි  රට ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳව රජය, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරයි – රට යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට විදෙස් රටවල සහය දෙන්න සූදානම්

ආපදාවෙන් පසු යළි රට ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳව රජය, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරයි – රට යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට විදෙස් රටවල සහය දෙන්න සූදානම්

ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දෙසැම්බර් 4 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙහිදී විදෙස් නියෝජිතයින් ඇමැතූ අග්‍රාමාත්‍යවරිය, මෑත කාලයේ සිදු වූ ගංවතුර සහ නායයෑම් ව්‍යවසන තත්ත්වයන් හමුවේ විදේශ රටවලින් ලබාදුන් සහයෝගය පැසසුමට ලක් කළා.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් දරුණුතම ව්‍යසනය මෙය නමුත් ජනතාවගේ ශක්තිය සහ රජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණය සහ කැපවීම හේතුවෙන් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ දී සැලකිය යුතු ප්‍රගතියක් ලබාගැනීමට හැකි වූ බවත්, පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරක ප්‍රජාවට කිසිදු අනතුරක් හෝ හානියක් සිදුවී නොමැති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.

ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පෙන්වා දී ඇත්තේ මාර්ග අවහිරතා හේතුවෙන් ප්‍රවේශය සීමා වී තිබූ ප්‍රදේශවලට දැන් ළඟා විය හැකි බව සහ පොදු ස්ථාන සහ නිවාස යථාතත්ත්වයට පත් කරමින් ආරක්ෂිත බව සහතික කිරීම සඳහා දැවැන්ත මෙහෙයුම් දියත් වෙමින් පවතින බවයි.

බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදනය කටයුතු සහ විදුලිය ලබාදීම යථාතත්ත්වයට පත් කරමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, නැවත පදිංචි කිරීම සහ දිගුකාලීන වශයෙන් ආපදා අවම කිරීම ඇතුළු පවත්නා අභියෝගවලට මුහුණ දීම සඳහා මිත්‍ර රටවලින් තාක්ෂණික, මානුෂීය සහ මූල්‍යමය සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පවසා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා මෙම හමුවේදී පැවසුවේ ව්‍යවසන තත්ත්වය හමුවේ දැනට බලපෑමට ලක් ව ඇති පවුල් සංඛ්‍යාව ගණනය කිරීම, ආපදා සහන මධ්‍යස්ථාන පවත්වා ගැනීම, හානි තක්සේරු කිරීම් සහ යළි ගොඩනැංවීමේ සැලසුම් සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු කරන බවයි.

පැවති සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 22 කට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර ඇතැමි ස්ථානවලට මිලි මීටර් 540 ක පමණ වර්ෂාපතනයක් සහ සුළගේ වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා වාර්තා වූ බවත් ඔහු පැවසුවා.

එමඟින් විශාල ලෙස රටේ යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බවත්, මුලික තක්සේරු කිරීම්වලට අනුව මිලියන 2.3 ක පිරිසක් ගංවතුරෙන් ආපදාවට ලක් වී ඇති බවත්, ඉන් මිලියන 1.8 ක ජනතාවක් සෘජුවම බලපෑමට ලක්ව ඇති බවත්, ඒ අතර ගැබිනි කාන්තාවන් 40,152 ක් සිටින අතර, ඔවුන්ට සහාය ලබා දීම සඳහා රජය ප්‍රමුඛතාවය දී ඇති බවද විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළා.

ඔහු අවධාරණය කළේ ඉඩම් හෙක්ටයාර මිලියන 1.1 ක් බලපෑමට ලක්ව ඇති බවත්, අපදා තත්වයෙන් යළි ගොඩනැගීමට සහ අපදා හානි අවම කර ගැනීම වෙනුවෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, සිතියම්කරණ නවීන ක්‍රියාවලි සහ දේශගුණික ප්‍රතිචාර තාක්ෂණයන් වැනි තාක්ෂණික සහයෝගීතාවය සඳහාතවදුරටත් විදෙස් සහය බලාපොරොත්තුවන බවයි.

අපදා තත්වය හමුවේ වවද ප්‍රධාන සංචාරක කලාප තවමත් සක්‍රියව ක්‍රියාත්මක වන බවත්, එම ස්ථානවල ආරක්ෂාව සහ තක්සේරු කිරීම් සිදුවෙමින් පවතින බවත්, ඉදිරි ආපදා තත්ත්වයන් හමුවේ විදේශකයින්හට සහාය වීමට සහ සංචාරක කර්මාන්තය ආරක්ෂා කිරීමට නිසි පියවර ගෙන ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැහැදිලි කළා.

මාරවිල සිට පාසිකුඩා දක්වා වෙරළබඩ ප්‍රදේශ සහ නිවාඩු නිකේතන නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, එම ප්‍රදේශවල බොහෝ විදේශිකයින් දැනටමත් නවාතැන් ගෙන සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

නුවරඑළිය ප්‍රදේශයේ හෝටල් අර්ධ වශයෙන් ක්‍රියාත්මක බව පැවසූ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා ශ්‍රී ලංකවේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය ලබා දෙන මෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

ඊට එක්වූ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙහිදී තහවුරු කර ඇත්තේ සහන කටයුතු සහ රට නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට දිගුකාලීනව සහාය වීමට තම රජයන් සූදානමින් සිටින බවයි.

අපදා තත්ත්වය සමග උද්ගතව ඇති අර්බුද සහ අභියෝග කළමනාකරණය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන විනිවිදභාවයකින් යුතු මැදිහත්වීම සහ සම්බන්ධීකරණය විදෙස් නියෝජිතයින් පැසසුමට ලක් ක‍ර තිබෙනවා.

Share This