ආබාධිත ප්‍රජාවගේ උපකරණවලට පවතින බදු පිළිබඳව යෝජනා මුදල් අමාත්‍යාංශයට

ආබාධිත ප්‍රජාවගේ උපකරණවලට පවතින බදු පිළිබඳව යෝජනා මුදල් අමාත්‍යාංශයට

ශ්‍රී ලංකාවේ පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් මෙරට ආබාධ සහිත පුද්ගල සංවිධාන ගණනාවක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම සාකච්ඡාවේදී එම සංවිධාන මගින් තම ප්‍රජාවට මුහුණ දෙන ගැටලු සහ ඊට විසඳුම් ඇතුළත් යෝජනාවලියක් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහිදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ආබාධ සහිත පුද්ගලයින්ගේ පහසුව සඳහා භාවිත කරනු ලබන ආධාර උපරකණ රාශියක් ඔවුන් විසින් හඳුනාගෙන ඇති අතර ඒවාට ඇති බදු පිළිබඳව සොයා බලන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම 2012 ජන හා නිවාස සංගණනයට අනුව මෙරට ආබාධිත ජනතාව ලක්ෂ 17ක් පමණ වෙසෙන බව සටහන් වුවද වසර 13ක පමණ කාලයක් තුළ එම සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් වෙනස් විය හැකි බැවින් ඒ පිළිබඳව දත්ත යාවාත්කාලීන කිරීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

තවද ආබාධිත ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් නීති සම්පාදනය කර ඇති නමුත් ඒවා ක්‍රියාත්මක වීමේදි යම් යම් ගැටලු පැන නැගුණු බවද ඔවුන් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වාදුන්නා.

පොදු ස්ථානවලට පිවිසීමේදී ආබාධිත පුද්ගලයින්ට ලබා දී ඇති පහසුකම් ඉහළ දැමීමේ අවශ්‍යතාවද ඔවුන් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ආබාධිත ප්‍රජාව මුහුණ දෙන අපහසුතා සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කාලරාමු සහිතව නිසි වැඩපිළිවෙළක් ඔස්සේ විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇති අතර ඒ සඳහා අදහස් ලබා ගැනීමට සුදුසු ක්‍රමයක් ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පිරිසගේ සහභාගීත්වය ඇතිව සකස් කෙරෙන ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව ඉදිරි වැඩ කටයුතු සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

ආබාධිත ප්‍රජාවට අවශ්‍ය ආධාර උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඇති බාධාවන් පිළිබඳව සොයා බලන ලෙසත් ඒ සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අවධාය යොමු කරන ලෙසත් එම ප්‍රජාව එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී එම උපකරණවල විධිමත් ලැයිත්තුවක් සකස් කිරීම සහ ඊට අදාළ රේගු කේතාංග හඳුනාගැනීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස්ද ලබාදුන් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This