ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත හමුදාවක් බවට පත් කරන්න ජනපති ගෙන් උපදෙස්

ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත හමුදාවක් බවට පත් කරන්න ජනපති ගෙන් උපදෙස්

මෙරට ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමින්.

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින් එක් එක් අංශ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව මෙහිදී විමසීමට ලක්කර තිබෙනවා.

ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණු අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම්වලට වඩා සුවිශේෂී බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන්ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙනුවෙන් දැනටමත් රජය විශාල පිරිවැයක් දරන බැවින් ඉන් ලබා දෙන සේවාව තවදුරටත් වඩා කාර්යක්ෂම සහ ඵලදායීව මහජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ඉදිකිරීම්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

 

Share This