ආරච්චිකට්ටුවේ මැර ප්‍රහාරය – ප්‍රාදේශිය සභා හිටපු සභාපතිවරයෙකුට චෝදනා (වීඩියෝ)

ආරච්චිකට්ටුවේ මැර ප්‍රහාරය – ප්‍රාදේශිය සභා හිටපු සභාපතිවරයෙකුට චෝදනා (වීඩියෝ)

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට සහ සේවකයෙකුට පහරදී නිවාස කිහිපයකට හා රථවාහන කිහිපයකට සන්නද්ධ කල්ලියක් විසින් ඊයේ (02) පස්වරුවේ දැඩි අලාභහානි සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ප්‍රාදේශිය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාට චෝදනා එල්ල වී ඇති අතර, පිරිස අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

මෙම පහරදීම සිදුව තිබෙන්නේ ආරච්චිකට්ටුව හා රාජකදළුව යන ප්‍රදේශවලදීයි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජාතික පක‍ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු වන ඇනීසීටස් සිල්වා සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සේවකයෙකු වන එච්.ලක‍ෂ්මන් නමැති පුද්ගලයෙකුට පහර කෑමට ලක්ව තිබෙනවා.

කඩු, පොලු, මුඟුරුවලින් සන්නද්ධව ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා ඇතුළු පිරිසක් මෙම පහරදීමට පැමිණි බවයි ඔවුන් පවසන්නේ.

මෙහිදී පැමිණි පිරිස මන්ත්‍රීවරයාගේ වෑන් රථයකට හා තවත් යතුරුපැදි දෙකකට හානි සිදුකර තිබෙනවා.

සිද්ධියෙන් පහරකෑමට ලක් වූ ප්‍රාදේශිය සභා සේවකයා රාජකාරී කටයුත්තක් වෙනුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පහරදීමට පැමිණි පිරිස ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අජිත් ගිහාන් මහතාගේ නිවසට ඇතුළු වී බිරිඳට සහ දරුවන්ට තර්ජනය කර අලාභහානි සිදුකළ බවයි ඔවුන් පවසන්නේ.

එහිදී මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික ලොරි රථයට මෙන්ම නිවසේ දේපළ රැසකට ද ඔවුන් හානිකර තිඛෙනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

Share This