ඇඳිරි නීතිය මැදත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් (වීඩියෝ)

ඇඳිරි නීතිය මැදත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් (වීඩියෝ)

පවතින ඇදිරි නීතිය යටතේ අද (03) දිනයෙත් දිවයින පුරා ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබුණා.

කෙසේවෙතත් අද (03) දිනයේ සිදුකෙරෙන විදුලි කප්පාදුව පැය 01 මිනිත්තු 40ක කාලයක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැය 06කට වැඩි කාලයක් විදුලි කප්පාදුවක් සඳහා එම කොමිසම විසින් සැලසුම් කර තිබූ අතර තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග විදුලි බල මණ්ඩලය වෙත ලැබීමත් සමඟ එම කප්පාදු කාලසීමාව මෙලෙස අවම කිරීමට හැකි වූ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

මේ අතර අද (03) සිට විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන සීමා කිරීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

විදුලි කප්පාදුව අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයා වෙත අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව අමාත්‍යවරිය මෙලෙස විදුලි කප්පාදුව අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි නිවේදනක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එසේම මේ වන විටත් දිවයින පුරා පවතින ගෑස් හිඟය අතරතුර ඊයේ දිනයෙත් ගෑස් අලෙවිසැල් ආශ්‍රිතය දිගු පොලිම් දක්නට ලැබුනා.

මීරිගම කොටදෙනියාව ප්‍රදේශයේ ගෑස් අලෙවි කල ස්ථානයක සඟවා තිබූ ගෑස් සිලින්ඩර තොගයක් සොයා ගැනීමට ගම්පහ පාරිභෝගික අධිකරියේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම මඟින් සඟවා තිබූ ගෑස් සිලින්ඩර 18ක් සොයාගෙන ඇති අතර එම ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින් වෙත බෙදා දීමට කටයුතු කර තිබෙනවා.

එසේම මේ වන විට දෛනික ගෑස් අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ගෑස් තොග අඛණ්ඩව නිකුක් කෙරෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

තවද හෙට (04) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක නෞකාවක් මෙරටට පැමිණිමට නියමිත බවයි එම සමාගම පවසන්නේ.

ඒ අනුව ඉදිරියේදී ගෑස් තොග හිඟයකින් තොරව වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන බවත් ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර මේ වන විට දිවයින තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක අද (03) දිනයේත් ඉන්ධනහල් ආශ්‍රිතව ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පොලිම් දක්නට ලැබුනා.

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ මෙරටට ළඟා වී ඇති අතර එම නෞකාව මේ වන විට උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදු තීරයේ නැංඟුරම්ලා තිබෙනවා.

මේ අතර ජනතාව මුහුණදෙන ගැටළු සඳහා විසදුම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මහතා මේ වන විට බලධාරීන් වෙත අවශ්‍ය නියෝග සහ මාර්ගෝපදේශ ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවයි එම මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

 

 

Share This