
ඇමරිකාව – චීනයට සියයට, සියයක තීරු බදු පනවයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට සියයට සියයක අතිරේක තීරුබද්දක් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පියවර ගත්තා.
ෂී ජින්පින් සමඟ පැවැත්වීමට නියමිත සමුළුවක් අවලංගු කරන බවට තර්ජනය කරමින්, දුර්ලභ පෘථිවි ඛනිජ සඳහා අපනයන සීමා කිරීම් සම්බන්ධයෙන් බීජිං සමඟ ට්‍රම්ප් ගේ වෙළඳ යුද්ධය නැවත ආරම්භ වී තිබෙනවා.
මෙම තීරු බදු පනවමින් ට්‍රම්ප් පැවසුවේ බීජිං හි “අසාමාන්‍ය ලෙස ආක්‍රමණශීලී” පියවරයන්ට පළිගැනීමක් ලෙස “ඕනෑම සහ සියලුම තීරණාත්මක මෘදුකාංග” සඳහා එක්සත් ජනපද අපනයන පාලනයන් නොවැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන බවයි.
“චීනය එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කළ නොහැක, නමුත් ඔවුන් එසේ කර ඇත, ඉතිරිය ඉතිහාසයයි,” ඔහු Truth Social හි සටහන් කර තිබුණා.
එක්සත් ජනපදය සහ චීනය අතර දැවෙන වෙළඳ යුද්ධය නැවත ඇවිළෙන විට කොටස් වෙලඳපොල පහත වැටුණු අතර, නැස්ඩැක් සියයට 3.6 කින් සහ S&P 500 සියයට 2.7 කින් පහත වැටී තිබෙනවා.
ෆෙන්ටැනයිල් වෙළඳාමට බීජිං ආධාර කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් ගෙන ආ තීරුබදු සහ අසාධාරණ පිළිවෙත් සම්බන්ධයෙන් චීන භාණ්ඩ දැනට එක්සත් ජනපදය තුල සියයට 30 ක තීරුබදු වලට මුහුණ දී සිටින තත්ත්වය හමුවේයි මෙම සියයට සියයක තීරු බදු පැනවීම සිදුකර ඇත්තේ.
ෆෙන්ටැනයිල් යනු ඉතා ප්‍රබල කෘතිම පයිපෙරයිඩින් ඔපියොයිඩ් වර්ගයක් වන අතර එය ප්‍රධාන වශයෙන් වේදනා නාශකයක් ලෙස භාවිතා කරයි.