ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවේ

ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතා (HDP) මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ වගවීම, විනිවිදභාවය, ව්‍යවස්ථාදායකයේ ශක්තිමත් බව, ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතා (HDP) වැඩසටහනේ හවුල්කාරිත්වයෙහි වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගි වූ HDP නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුව සමඟ ගෙන යන අධීක්ෂණ ක්‍රියාවලිය, පුරවැසි සහභාගීත්වය සහ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳ පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී පාර්ලිමේන්තුවේ සහ ජාතික නායකත්වයේ කාන්තා සහභාගීත්වය සහ ශ්‍රම බලකායේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Julie Chung, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතා (HDP) විධායක අධ්‍යක්ෂ Derek Luyten, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වුණා.

Share This