ඇමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් -තිදෙනෙකු මරුට

ඇමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් -තිදෙනෙකු මරුට

ඇමෙරිකාවේ මිසුරිහි නගරයේ ශාන්ත ලුවීහි උසස් පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අය අතර වෙඩි තැබූ සැකකරුද වන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පාසල් ගොඩනැඟිල්ලේ දොරවල් අගුළු දමා තිබූ අතර සැකකරු ඇතුළුවී තිබෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම සැකකරු 19 හැවිරිදි එම පාසලේම ආදි ශිෂ්‍යයෙකු බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා

සැකකරු පොලිසිය සමඟ වෙඩි හුවමාරු කර ගැනීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙය සිසුන් 400ක් පමණ ඉගෙනුම ලබන පාසැලක් වන අතර වෙඩි තැබීමෙන් ගැහැණු ළමයෙකු පාසල තුළදීම මියගොස් ඇති අතර, තවත් කාන්තාවක් රෝහලේදී මිය ගිය බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා

තුවාල ලැබූ හත් දෙනා අතර ගැහැණු ළමයින් තිදෙනෙකු සහ පිරිමි ළමුන් හතර දෙනෙකු සිටින බවත් ඔවුන්ට බරපතල නොවන තුවාල ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තුවක්කුකරු පසුගිය වසරේ එම පාසලෙන්ම උපාධිය ලබා ගෙන ඇති අතර ඔහුට අපරාධ චෝදනා නොමැති බවයි.

Share This