
ඇල්ල කැලිෆ්සෝ දුම්රිය සංචාරක හිසමත කඩා වැටෙන මරාලයක් වෙයි (VIDEO)
වැඩි කළ ප්‍රවේශ පත්‍ර ගාස්තුව අඩුකර ඇල්ල කැලිෆ්සෝ දුම්රිය සංචාරකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙස දෙස් විදෙස් සංචාරකයින් රජයෙන් ඉල්ලා සිටිනවා.
එම දුම්රිය ධාවනයේදී සංචාරකයින් වෙනුවෙන් ලබාදුන් පහසුකම් බොහෝමයක් කප්පාදු කර ඇති බවයි සංචාරකයින් පවසන්නේ.
දෙමෝදර සහ බණ්ඩාරවෙල නගර මුල්කර ගනිමින් ධාවනයට යොදා ඇති කැලිෆ්සෝ දුම්රිය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් එක් අංගයක් ලෙස හදුනාගන්න පුලුවන්.
එම දුම්රියේ ගමන් කරන සංචාරකයින් වඩාත් උනන්දුවන්නේ දෙමෝදර ආරුක්කු 9 පාලම නැරඹීමටයි.
එහි සිට ඡායාරූප ගැනීම වෙනුවෙන් දුම්රිය විනාඩි 10ක කාලයක් නවතා තැබීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණා.
මේ ඔස්සේ විශාල ආදායමක් ඉපැයීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව සමත් වුණා.
කෙසේ වෙතත් එම දුම්රිය සම්බන්ධයෙන් දැන් සංචාරකයින්ගෙන් මැසිවිලි ඉදිරිපත් වන්නේ, එමගින් ලබාදුන් පහසුකම් බොහෝමයක් නවතා තිබීම හේතුවෙන්.
බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර ගමන් කිරීම සඳහා රුපියල් 1000 ක් ලෙස තිබූ ප්‍රවේශ පත්‍ර ගාස්තුව දේශීය සංචාරකයින්ටද අදාළ වන පරිදි රුපියල් 2500ක් දක්වා ඉහළ දැමීම, සංචාරකයින්ගෙන් එල්ල වන එක් චෝදනාවක්.
කැලිෆ්සෝ සංගීතය නතර කිරීම, භෝජනාගාරය වසා දැමීම, ආරුක්කු 9 පාලම නැරඹීම වෙනුවෙන් වෙන්කරන කාලය විනාඩි 10 සිට 5ක් දක්වා අඩු කිරිම සම්බන්ධයෙන් සංචාරකයින් විරෝධය පළකර සිටිනවා.
එමෙන්ම මෙම තත්ත්වයන් තුළ කැලිෆ්සෝ දුම්රිය සවාරියට සංචාරකයින්ගේ සහභාගීත්වය අඩු වෙමින් පවතින තත්ත්වයක්ද නිරීක්ෂණය වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවයි.
පවතින ගැටලු හදුනාගනිමින් සිටින බවත් සංචාරක කර්මාන්තයේ දියුණුවද සලකමින් මෙම දුම්රිය වඩාත් ආකර්ෂණීය දුම්රියක් ලෙස දියුණු කිරිමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.