
ඇල්ල – වැල්ලවාය බස් අනතුරට හේතුව රියදුරු අවිවේකීව රිය ධාවනයේ යෙදවීම සහ බස් රථය නියමිත අලුත් වැඩියා නොකිරීම
16 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ල වැල්ලවාය මාර්ගයේ පසුගියදා සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ පරීක්‍ෂණයේ සම්පූර්ණ කමිටු වාර්තාව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාට ඊයේ භාරදුන්නා.
එම කමිටු වාර්තාව මඟින් බස් රථයේ දුර්වල නඩත්තුව සහ ඊට අදාළ කරුණු රැසක් අනාවරණ වී ඇති අතර, අනතුරට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අධික බෑවුම් සහ වංගු සහිත අවදානම් මාර්ගයක අද්දැකීම් අඩු රියදුරෙකු නුහුරු බස් රථයක් ධාවනය කිරීමයි.
පසුගිය 4 වැනිදා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 – 24 කණුව අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරින් 16 දෙනෙකුට දිවි අහිමි වුණා.
එම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත්කර පරීක්‍ෂණයක් සිදු කළ අතර, එම කමිටුවේ සම්පූර්ණ වාර්තාව ඊයේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාට භාරදීමට කමිටුවේ නියෝජිතයින් කටයුතු කළා.
එමඟින් අනාවරණ වී ඇත්තේ අනතුරට ලක් වූ බස් රථයේ චැසි අංකය අක්‍ෂර 17 කින් සමන්විත විය යුතු වුවද, එහි චැසිය මත මුද්‍රිත අංකයේ අක්‍ෂර 18ක් ඇති බවත්, එහි 5 වැනි අංකය සඳහා වෙනත් අක්‍ෂරයක් භාවිත කර මෙරටදී මුද්‍රණය කර ඇති බවයි.
මේ හේතුවෙන් බස් රථයේ අනන්‍යතාව ගැන සැකයක් මතුවන බව කමිටුව පෙන්වා දෙනවා.
එමෙන්ම චැසියේ මුද්‍රිත චැසි අංකය ලියාපදිංචි සහතිකය හා බොඩි ටැග් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති දත්ත සමඟ නොගැලපෙන බවත්, කමිටු වාර්තාවේ සඳහන්.
බස් රථය නවීකරණය සඳහා අනවසර සවිකිරීම් යොදාගෙන තිබූ අතර, එම සියලු කොටස් අනතුරින් පසු සුන්බුන් බවට පත්ව තිබෙනවා.
බස් රථයේ පිටුපස දකුණු ඩ්‍රම් එක ගලවා පරීක්‍ෂා කිරීමේ දී එම රෝදයේ තිරිංග පද්ධතියට දීර්ඝ කාලයක සිට ග්‍රීස් කාන්දුවී ඇති බවත්, අනාවරණ වී තිබෙනවා.
තිරිංග වැඩි වශයෙන් භාවිත කර වේගය පාලනය කිරීම හේතුවෙන් තිරිංග අධික ලෙස රත්වී කාර්යක්‍ෂමතාව අඩුවීම මෙම අනතුරට එක් හේතුවක් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ.
ගියර් බොක්ස් ගලවා පරීක්‍ෂා කිරීමේ දී අනතුර සිදුවන විට බස් රථය 4 වැනි ගියරයේ තිබූ බව ද නිරීක්‍ෂණය වූ බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස් රථයේ දුර්වල නඩත්තුව මෙම අනතුරට වැඩි වශයෙන් බලපා ඇති බවද අධික බෑවුම් සහ වංගු සහිත අවදානම් මාර්ගයක මාර්ගය නුහුරු රියදුරෙකු තමාට නුහුරු බස් රථයක් ධාවනය කිරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව බවයි කමිටුව පෙන්වා දෙන්නේ.
බස් රථයේ ගැටුණු රේන්ජ්රෝවර් රථයේ අංක 360 ක කැමරා පද්ධතියක් තිබුණද එම දර්ශන එහි පටිගතවී නොමැති අතර, මව් සමාගමෙන් මේ පිළිබඳ සොයාබැලීමේදී අදාළ පහසුකම බලාත්මක කර නොමැති බවද අනාවරණ වී තිබෙනවා.
රියදුරෙකුට උපරිම වශයෙන් අඛණ්ඩව රිය ධාවනය කළ හැක්කේ පැය හතරහමාරක් වන අතර, ඉන් පසු අවම වශයෙන් විනාඩි 30ක කාලයක්වත් විවේක ගත යුතුවූ බවත්, මෙම බස් රථය ධාවනය කළ රියදුරා එලෙස විවේකයක් ගෙන නොමැති බවද කමිටුව සඳහන් කරනවා.
කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රියදුරෙකු දිනකට අඛණ්ඩව පැය 10ක විවේකයක්වත් ගතයුතු බවයි.
මේ රියදුරුට එවැනි විවේකයක් ලැබී නැහැ.
මෙම කරුණු පිළිබඳ සලකා බැලීමේ දී රියදුරු මෝටර් රථ ප්‍රවාහන පනත උල්ලංඝනය කර ඇති අතර, චාරිකාව සංවිධාන කළ අයද රියදුරුට මෝටර් රථ වාහන පනත උල්ලංඝනය කිරීම සඳහා අනුබල ලබාදී ඇති බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
චාරිකාව සඳහා එක් රියදුරෙකු පමණක් සහිතව රථය ලබාදීමෙන් තාවකාලික භාරකරුද මෝටර් රථ ප්‍රවාහන පනත උල්ලංඝනය කිරීමට අනුබල ලබාදී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙනවා.
