ඇල්ල – වැල්ලවාය බස් අනතුරෙන් මතු වූ මනුෂ්‍යත්වයේ උතුම් ගුණය (VIDEO)

ඇල්ල – වැල්ලවාය බස් අනතුරෙන් මතු වූ මනුෂ්‍යත්වයේ උතුම් ගුණය (VIDEO)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ ‘සිහින මන්දාකිනි’ ලෙසින් නම්කර තිබූ මෙම බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව අඩි දහසක් පමණ වූ ප්‍රපාතයකට පෙරලී ගොස් අනතුරට ලක්වන්නේ ඒ තුළ කුඩා දරුවන් ඇතුළු 30 අධික ජීවිතද අනතුරට ලක් කරමින්.

අනතුර සැලවූ අවස්ථාවේ සිටම සමීපතමයින් නොවුණත් තවත් අයෙකුට වූ විපතක් දැක මඟ නොහැර බොහෝ පිරිස් අනතුර සිදුවූ ස්ථානයට පැමිණුනේ ප්‍රපාතයකට වැටී සිටි පිරිස් කඩිනමින් රෝහල් ගත කිරීමේ අරමුණින්.

මාර්ගයේ ගමන්ගත් පිරිස්, ප්‍රදේශවාසීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හා ගුවන් හමුදා සාමාජිකයින්ද යුහුසුළුව අනතුරට පත් පිරිස ඉන් මුදා ගැනීම සඳහා අළුයම වන තුරුම මහත් කැපවීමක් සිදු කළේ ජීවිතයත් මරණයත් අතර සිරවී සිට බොහෝ දෙනාට යළි ජීවිතය ලබාදීමේ අරමුණින්.

එම පිරිස අතර සිටි එක් විශේෂ බලකා සෙබලෙකු වන කෝප්‍රල් බණ්ඩාර සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා වීමට නොහැකි ස්ථාන කරාද ළඟා වෙමින් තම ජීවිතය ගැන නොසිතා තුවාලකරුවන් බේරා ගැනීම සඳහා එක්වීමේ සිද්ධියත් ඒ අතරින් ප්‍රධානයි.

කෙසේ වෙතත් පෙරේදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් බස් රථයේ ගමන් කරමින් සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ පිරිස් අතුරින් 15 දෙනෙකුගේම දිවි අහිමිවූ අතර තවත් 16 දෙනෙකු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ රූපසිංහ මහතා ඇතුළු සේවකයින් ඇතුළු 15 දෙනෙකු වනවා.

රියදුරුට පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවූ බවට මූලික විමර්ශනවලදී අනාවරණ වුවත් අනතුරට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඇතැම් පුද්ගලයින්ගේ ප්‍රකාශවල සඳහන් වුණේ අනතුරට පෙර බස් රථයේ තිරිංග අක්‍රීය වී ඇති බවටයි.

අනතුරට ලක්වූ බස් රථය 2011 වසරේ මෙරටට ආනයනය කර ඇති අතර 2012 වර්ෂයේ සිට එය මාර්ග අංක 176 නුගේගොඩ, හෙට්ටියාවත්ත, මාර්ග අංක 60 අකුරැස්ස, කොළඹ යන මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා.

ඉන් පසුව එහි හිමිකරු විසින් බස් රථය තවත් අයෙකුට අලෙවි කර ඇති අතර එම හිමිකරු බස් රථය සැරසිලිවලින් අලංකාරය කර විනෝද චාරිකා සඳහා යොදාගෙන ඇති අතර ඔහුද පසුගිය අගෝස්තු මස 28 වැනිදා බස් රථය තවත් අයෙකුට අලෙවි කර තිබෙනවා.

එම හිමිකරුද විනෝද චාරිකා සඳහා මෙම බස් රථය යොදාගෙන ඇති අතර ඔහු යටතේ සිදුවූ පස්වන විනෝද චාරිකාවේදීයි මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ අනතුරට ලක්වූ මෙම බස් රථය 2023 වසරේ ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බවයි.

ඉන් පසු විනෝද චාරිකා සඳහා මෙම බස් රථය භාවිත කර ඇති අතර එලෙස විනෝද චාරිකා සඳහා භාවිතා කෙරෙන බස් රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර බස් රථය පරීක්‍ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද එම ප්‍රදේශයට ගොස් තිබුණා.

ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද දිනයේ අනතුරට පත් බස් රථය පරීක්‍ෂා කිරීම සඳහා ඇල්ල ප්‍රදේශයට යාමට නියමිතයි.

මේ අතර අනතුරට පත් බස් රථය අද දින ගොඩගැනීමේ කටයුතු සිදු වුණා.

එමෙන්ම අනිද්දා දිනයේදී රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද බස් රථය පරීක්‍ෂා කිරීමටද නියමිතයි.

මේ අතර අනතුරින් මියගිය පිරිසගේ දේහයන් බදුල්ල රෝහලේ සිට තංගල්ල දක්වා ඊයේ රාත්‍රියේ එනු ලැබුවා.

එම ප්‍රවාහන කටයුතු බදුල්ල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානවල පූර්ණ අනුග්‍රහයෙන් සිදු කර තිබෙනවා.

තංගල්ල දක්වා රැගෙන ආ මියගිය පිරිසගේ දේහයන් අද පෙරවරුව දක්වා තංගල්ල නගර සභාවේ තැන්පත් කර තිබුණේ ඔවුන්ට අවසන් ගෞරව දැක්විම සඳහායි.

ඒ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය , පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම මහජනතාවද විශාල පිරිසක් එක්ව සිටි‍යා.

 

 

 

 

Share This