ඇෆ්ගන් කාන්තාවන්ගේ රැකියා තහනම ගැන ජගත් කවුන්සිලයේ රැස්වීමක්

ඇෆ්ගන් කාන්තාවන්ගේ රැකියා තහනම ගැන ජගත් කවුන්සිලයේ රැස්වීමක්

ඇෆ්ගන් කාන්තාවන් රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ යෙදීම තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විශේෂ සාකච්ඡාවක් කැදවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම සාකච්ඡාව එළඹෙන සතියේදී පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාන්තාවන්ට රැකියා තහනම් කරමින් තලේබාන් සංවිධානය ගත් තීරණය සම්බන්ධයෙන් ජනවාරි 13 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවක් කැදවන ලෙස ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉල්ලීමක් කර ඇතැයි එක්සත් අරාබි එමීරයේ එක්සත් ජාතීන්ගේ ස්ථිර මෙහෙයුම පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක Shahad Matar ප්‍රකාශ කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානය තුළ පවතින මානුෂීය ගැටළු පිළිබඳ සලකා එම ඉල්ලීම සිදු කළ බවයි ඔහු පවසා ඇත්තේ.

තලේබාන් සංවිධානය කාන්තාවන් රැකියාවල නිරතවීම වළක්වමින් පැනවූ නියෝගය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන තරයේ හෙළා දැක තිබෙනවා.

එමෙන්ම යුරෝපා සංගමය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය ඇතුලු ලොව බලවතුන් මෙන්ම ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ඉතාලිය, ජපානය නෝර්වේ සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් ඒ සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයට දැඩි විරෝධය පළ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවද එම රටවල් පවසනවා

Share This