ඇෆ්ගන් කාන්තාවන්ට පැනවූ තහනම අවලංගු කරන්නැයි ඉල්ලීමක්

ඇෆ්ගන් කාන්තාවන්ට පැනවූ තහනම අවලංගු කරන්නැයි ඉල්ලීමක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන ඇෆ්ගන් කාන්තාවන්ට තලේබාන් සංවිධානය විසින් තහනමක් පැනවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා දැඩි ලෙස අප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙම නියෝගය වෙනස් කරන ලෙසටත්, මෙය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කඩ කිරීමක් බැවින් වහාම එය අවලංගු කරන ලෙසත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇෆ්ගනිස්ථානයේ පාලකයන්ගෙන් ඉල්ලා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තා කාර්යය මණ්ඩලය රට තුළ “එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය” බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

2021 දී බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය කාන්තාවන්ගේ නිදහස වැඩි වැඩියෙන් සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ

මෙම නියෝගය නිකුත් කිරීම පිළිබඳවද තලේබාන් සංවිධානය කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද පැවසෙනවා

ඇෆ්ගනිස්ථානයේ මිලියන 23ක ජනතාවකට මානුෂීය ආධාර ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරමින් සිටින අතර කාන්තා සේවිකාවන් බිම් මට්ටමේ ආධාර මෙහෙයුම්වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ රැකියා, අධ්‍යාපනය සහ ගමන් කිරීමේ නිදහස සීමා කරන සියලුම ක්‍රියාමාර්ග ආපසු හරවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තලේබාන් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා .

Share This