ඇෆ්ගනිස්ථානය  කොයිබටද ?

ඇෆ්ගනිස්ථානය කොයිබටද ?

ලොව ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ඇෆ්ගනිස්ථානයේ ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විශේෂයෙන් තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට රට තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීමේ සහ කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති ප්‍රවේශයන් අසුරා දැමීමේ තීරණ හේතුවෙන් මානුෂීය රාජ්‍ය නොවන සංවිධාන දැඩි ලෙස කලකිරීමට සහ මන්දෝත්සාහයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන දේශීය සේවකයන්ගෙන් බහුතරය කාන්තාවන් වනවා.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමග තෙල් කැණීම පිළිබඳ ගිවිසුමකට සින්ජියැං මධ්‍යම ආසියා පෙට්‍රෝලියම් සමාගම එළඹ ඇති අතර එම ගිවිසුමට අනුව චීන සමාගමට උතුරු ඇෆ්ගනිස්ථානයේ අමු දාරියා ද්‍රෝණියෙන් ඉදිරි වසර 25 සඳහා තෙල් නිස්සාරණය කිරීමේ අයිතිය හිමි වනවා.

චීනය සහ පකිස්ථානය ඇතුළු ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් කිහිපයක් තලේබාන්වරු විසින් පත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගෙන ඇති අතර එම දෙරටම තලේබාන් පාලනය විසින් පත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නිල වශයෙන් කරයුතු කිරීමට අවසර ලබාදීම සිදුකර තිබෙනවා.

චීනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කර්නල්වරයෙකු වූ Zhou Bo, තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය පාලනය අත්පත් කරගැනීමෙන් පසු සඳහන් කර තිබුණේ “ඇෆ්ගනිස්ථානය දිගු කලක් තිස්සේ ජයග්‍රාහකයන්ගේ සොහොන් බිමක් ලෙස සැලකේ. මහා ඇලෙක්සැන්ඩර්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, සෝවියට් සංගමය සහ දැන් එක්සත් ජනපදය විසින් රට විනාශ කරදමා තිබේ. දැන් චීනය එහි ඇතුළු වන්නේ – බෝම්බවලින් නොව ඉදිකිරීම් සැලැස්මකින් සන්නද්ධව ය.” යනුවෙනුයි.

එහෙත් තමන් විසින් පත් කරන ලද තානාපතිවරයෙකු පිළිගන්නා ලෙස තලේබාන් සංවිධානය විසින් නැවත නැවතත් ඉල්ලා සිටියද ඉන්දියාව එය අනුමත කර නොමැති අතර යුද්ධය නිසා අත්හැර දමන ලද සිය සංවර්ධන ව්‍යාපෘති ඇෆ්ගනිස්ථානය තුළ නැවත ආරම්භ කිරීමේදී ඉන්දියාව යම් පීඩාවකට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට, චීනයේ උයිගුර් විමුක්ති සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු නොකිරීමේ සහ චීනයේ ‘එක් තිරයක්-එක් මාවතක්’ ව්‍යාපෘති ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවට වන කොන්දේසිය මත, චීනය විසින් තලේබාන් පාලනයට සහාය ලබා දීමට එකඟවී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ ආයෝජනය කරන චීන සමාගම්වලට බටහිර මූල්‍ය යුද්ධයෙන් සිදුවන හානිය අඩු කරගත හැකි බවත් විදෙස් මාධ්‍යවල අදහසයි.

ඇෆ්ගනිස්ථානය සතුව දුර්ලභ ඛනිජ සම්පත්, එනම් තඹ, ලිතියම් සහ යපස් ඇතුළු තවත් දේ පවතින බව රහසක් නොවේ. අනෙක් අතට එක්සත් ජනපද ආධිපත්‍යයට අභියෝග කිරීමට චීනය, රුසියාව සහ ඉරානය වඩ වඩාත් සහයෝගයෙන් කටයුතු කරන අතර, මෙලෙස ඇෆ්ගනිස්ථානය හරහා කලාපයේ සිය බලය ව්‍යාප්ත කිරීමේ හැකියාව ද චීනය වැනි රටවලට හිමිවන බව අදහසයි.

සින්ජියැං මධ්‍යම ආසියා පෙට්‍රෝලියම් සහ ගෑස් සමාගම ඇෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රමුඛ පරිපාලනය අතර වසර 25ක තෙල් කැණීමේ ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට තලෙයිබාන් පතල් හා පෙට්‍රෝලියම් අමාත්‍ය ෂෙයික් ෂහබුදීන් සහ සමාගමේ ඉහල නිලධාරියකු කාබුල්හිදී අත්සන් තබනු ලැබුවා.වැඩබලන තලේබාන් නියෝජ්‍ය අගමැති මුල්ලා අබ්දුල් ඝානි සහ ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති වැන්ග් යූ ද ඊට සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තලේබාන් පරිපාලනය බලයට පත්වීමෙන් පසු විදේශීය සමාගමක් සමඟ අත්සන් කළ පළමු ප්‍රධාන නිස්සාරණය කිරීමේ ගනුදෙනුව එයයි. වසර 25 ක මෙම කොන්ත්‍රාත්තුවට අනුව, වසරකට ඩොලර් මිලියන 150 ක් ඇෆ්ගනිස්ථානයේ ආයෝජනය කරනු ඇති අතර එම ආයෝජනය වසර තුනකින් ඩොලර් මිලියන 540 දක්වා වැඩි වනු ඇති. කෙසේවෙතත් රට තුළ පවතින වර්තමාන ආරක්ෂක තත්ත්වය විසින් මෙම තක්සේරුව යථාර්තයක් බවට පත්කරවීම පිළිබඳව විශාල සැක මතු වන බව විදෙස් මාධ්‍ය අදහසයි.

 

Share This