ඉදිරි දිනවල රාත්‍රි කාලයේ දී විදුලි කප්පාදුවක් – විසන්ධි වන වේලාවන් හෙට ප්‍රකාශයට (වීඩියෝ)
පවතින දැවි තෙල් හිඟය හේතුවෙන් ඉදිරි දිනවල රාත්‍රි කාලයේදී ද විදුලි කප්පාදුවකට යොමුවීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි වැඩබලන සාමාන්‍යාධිකාරි සුසන්ත පෙරේරා මහතා පවසන්නේ, එසේ විදුලිය විසන්ධි වන වේලාවන් හෙට (24) ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පවතින දැවි තෙල් හිඟය හමුවේ මෙරට විදුලි සැපයුමටද තවදුරටත් පවතින්නේ අභියෝගාත්මක මට්ටමකයි.
එවන් තත්ත්වයක් හමුවේ ඊයේ (22) දහවල් වන විට සපුගස්කන්ද බලාගාරය සතු දැවි තෙල් තොගද අවසන් වී තිබෙනවා.
ඊට අමතරව උතුරු ජනන බලාගාරය සහ වරාය, බත්තල බලාගාරය සතු පවතින දැවි තෙල් ද අඟහරුවාදා වන විට අවසන් වීමට නියමිතයි.
මේ අතර, උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හමුවේ මෙරට ජල විදුලි බලාගාර, උපරිම තත්ත්වයෙන් ක්‍රියාත්මක වුවද එම බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසීමත් සැලකිය යුතු කරුණක්.
විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව හෙට සිට පැයක් සිදු කිරීමට නියමිතව තිබුණත් එය පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවයි.
එසේම පවතින තත්ත්වය මත විදුලිබල සැපයුම පවත්වාගෙන යාමට හැක්කේ ලබන සිකුරාදා දක්වා පමණක් බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.
කෙසේවෙතත් විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි සුසන්ත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ පවතින දැවි තෙල් හිඟය මත පැය භාගයක පමණ කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බවයි.