ඉදිරි වසර 10 තුළ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය වෙනස්වන බවට අනාවැකි
ඉදිරි වසර 10 තුළ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජපානය අභිබවා ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා .
ඉන්දියාවට පසුගිය දෙසැම්බර් 01වැනිදා G20 වැනි බලගතු සංවිධානයක සභාපතිත්වය හිමිවීම ඔස්සේ ලෝක දේශපාලනයේ කැපී පෙනෙන භූමිකාවක් රඟ දැක්වීමට අවස්ථාව ලැබී ඇති අතර ඔවුන් දැනටමත් දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයට පැමිණ සිටින බව එම මාධ්‍ය පෙන්වා දෙනවා.
G20 සභාපතිත්වය දරන කාලය තුළ, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ලෝකයට සහ අසල්වැසි රටවලට භාවිත කළ හැකි ලෙස, ඉන්දියාව තම අත්දැකීම් සහ ඉගෙනීම් ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැති මෝදි අවධාරණය කරනවා.G20 සභාපතිත්වය විසින් ඉන්දියාවේ ප්රක්ෂේපණය ලෝකයට දැකගැනීම වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කර ඇති අතර, ගෝලීය පවුලක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන සැබෑ ආර්ථික නායකයෙකු ලෙස ඉස්මතු වීමට අවකාශය නිර්මාණය කෙරී ඇති බව ඔහුගේ අදහසයි.
ගෝලීය ආර්ථික සහයෝගීතාව සඳහා වන ප්‍රමුඛතම සංසදයක් වන, G20 සංවිධානය හෙවත් ‘විස්සේ කණ්ඩායම’, ලෝකයේ ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 20 කින් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එයට ලෝකයේ බලවත්ම රටවල් සියල්ලම අයත්. මෙම කණ්ඩායම ගෝලීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් 75%, ගෝලීය ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ලෝක භූමි ප්‍රමාණයෙන් 60% නියෝජනය කරනු ලබනවා.
ඒ අනුව, G20 රටවලට සමස්ත ලෝකයටම කළ හැකි බලපෑමේ විශාලත්වය සිතාගත හැකිය. සරලව කිවහොත්, G20 දෙවැනි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණි. මෙම සංවිධානය තුළ 2023 නොවැම්බර් 30 වනදා දක්වා සිය G20 සභාපතිධුරයේ වගකීම ඉටුකිරීම ඉන්දියාව ආරම්භ කර ඇති අතර මෙවර G20 සමුළුවට ඉන්දියාව නායකත්වය දීම සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂයෙන් වැදගත් විය හැකි බව අන්තර්ජාතික දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.
එසේම G20 සංවිධානයේ නායකත්වය හරහා ඉන්දියාවේ බලය ලොවට ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වාදෙනවා. 2023 දී ජපානය ලෝකයේ බලවත්ම රටවල් නියෝජනය කරන G7 සංවිධානයේ සභාපතිත්වය දරනු ඇති.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැක්ම පිළිබඳව පණිවිඩයක් ලබාදෙමින්, ලෝකවාසී සියලු ජනතාවට සුවය, සහජීවනය සහ බලාපොරොත්තුව ගෙන දෙන සභාපතිධුරයක් වෙනුවෙන් කැපවන බව පවසා තිබෙනවා.
ඉන්දියාව විසින් සිය G20 නායකත්වය උපයෝගී කරගනිමින් ගෝලීය දකුණට හඬක් සැපයීමට උත්සාහ කරන අතරම, සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන න්‍යාය පත්‍රද මෙහිදී සංශෝදනයයට ලක්කිරීමටද කැමැත්ත පළකර තිබෙනවා.එහිදී අන්තර්ජාතික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශගුණය සහ පරිසරය ඇතුළු ගෝලීය දකුණට ඉතා සමීප ප්‍රශ්න පිළිබඳව ඉන්දියාව වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන්.
විශේෂයෙන් එක්සත් ජාතින් වේවා, ලෝක බැංකුව වේවා, ආසියාන් සංවිධානය වේවා, මේ කිසිදු ගෝලීය ආයතනයකින් හෝ සංවිධානයකින් මේ මොහොතේ සැබෑ ලෙස ගෝලීය දකුණේ ගැටළු සාකච්ඡාවට ලක්වන්නේ නැත. වඩාත් අභියෝගත්මකවී ඇති ඉහත ගැටළු හමුවේ සාප්‍රදායික බටහිර බලවතුන් සමග තවදුරටත් පොදු ගැටලුවලට පිළිතුරු සෙවීම අසාර්ථකවී ඇති බව ගෙවීගිය දෙවසරක කාලය ඇතුලත නැවත නැවත තහවුරුවී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
ඌණ සංවර්ධිත රටවල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සලකා බලන විට, විශාල බලවතුන්ගේ පරමාධිපත්‍ය තර්ජන සහ ආර්ථික නීති සකස් කිරීමේදී, එම සංවර්ධිත රටවල ආධිපත්‍යය හේතුවෙන්, කුඩා රාජ්‍යයන් ගෝලීය පාලනය සහ පිළිවෙල කෙරෙහි විශ්වාසය නැති කරගෙන ඇති අතර එහිදී කුඩා රාජ්‍යයන්ට ගෝලීය අනුපිළිවෙළ සකස් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමේ කිසිදු අවස්ථාවක් හිමිවන්නේ නැත.
ගෝලීය දකුණ නියෝජනය කරන රටවල ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන්, පසුගිය ජනවාරි 12 සහ 13 යන දින දෙකේදී, සිය G20 නායකත්වය යටතේ පළමු විශාලතම සමුළුව(ගෝලීය දකුණේ හඬ) සංවිධානය කිරීමටද ඉන්දියාව පියවර ගනු ලැබු අතර ඒ අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු සාක් කලාපයේ රටවලට මෙන්ම තවත් සංවර්ධනය අපේක්ෂාවෙන් පසුවන ලොව බොහෝ ජාතීන්ට ඉන්දියාව විසින් වසරක කාලයක් උසුලන මෙම G20 කණ්ඩායමේ සභාපතිත්වය තීරණාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අනෙක් අතට මේ වන විට අක්‍රිය තත්වයේ පවතින සාර්ක් වැනි කලාපිය සංවිධානවලට නැවත පණදීම සහ විශේෂයෙන් යාබද රටවල් මුහුණදෙන අභියෝගවලට උපාකාර කිරීමේ අභිප්‍රාය ඉන්දියාව සතුවන බව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල එය පැහැදිලි උපකාරයක් බවත් ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් ලබාදුන් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට ඉන්දියාව නිල වශයෙන් කැමැත්ත පළකර එය අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.
කෙසේහෝ වේවා ඉන්දියාව විසින් ලබාගනු ලැබූ මෙම G20 නායකත්වය තීරණාත්මක ලෙස උපයෝගී කරගැනීමට, එහි උපකාරය අපේක්ෂාවෙන් පසුවන ගෝලීය දකුණද දක්ෂ විය යුතු බවත් එසේ නොමැතිව වෙනත් න්යායපත්ර අනුගමනය කරන අතරතුර තමන් වෙනුවෙන් උපකාර ලබාගැනීම වෙනුවෙන් පමණක් ඉන්දියාව ඇතුළු සමගාමී ගෝලීය බලවතුන් භාවිත කිරීමට ගෝලීය දකුණේ රටවල් කටයුතු කළහොත් එය පැහැදිලිවම අසාර්ථක ප්‍රවේශයක් පමණක් බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.