ඉන්දියාවේ ගංගා සුද්ද කරන්න එන සූර්ය බලයෙන් ක්‍රියාකරන රොබෝ බෝට්ටුව

ඉන්දියාවේ ගංගා සුද්ද කරන්න එන සූර්ය බලයෙන් ක්‍රියාකරන රොබෝ බෝට්ටුව

අප රොබෝ තාක්ෂණය පිළිබඳව පළමුව දැනගත්තේ ජපානයෙන් දශක කිහිපයකට පෙර පැමිණි ‘සෙල්ලම් රෝබෝවරුන්ගෙනි’.

බැටරි දැමූ එම රොබෝවන්ට, මුල් කාලයේදී ඊට කවා ඇති විධානයන් කිහිපයකට අනුව ක්‍රියාත්මක වීමේ හැකියාව පැවතුණා.

කෙසේවෙතත් සෙල්ලම් රෝබෝවරුන් වෙළඳපොළට පැමිණෙන කාලයේදීම, මෙම රොබෝවන් අනාගතයේදී සංවර්ධනය වී, තනිව සිතා ක්‍රියාකිරීමේ හැකියාව ලබාගනු ඇතැයි, විශේෂයෙන් හොලිවුඩයේ සිනමා නිර්මාණකරුවෝ සිහින දුටුවා.

සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වෝසනෙගර් යොදාගනිමින් ‘ටර්මිනේටර්’ (The Terminator) චිත්‍රපට මාලාව නිර්මාණය වන්නේ එම සිහිනවලට අනුවයි.

චිත්‍රපටයේ ආරම්භක නිර්මාණකරු වූ ජේම්ස් කැමරන් සිතා තිබුණේ, ‘ටර්මිනේටර්’ රොබෝවරුන්, මෙලොවින් නොව, වෙනත් ග්‍රහලෝකවලින් පැමිණෙනු ඇතැයි කියාය.

මේ අතරතුර ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥ ආතර් සී. ක්ලාක් ද, තනිව සිතා තීරණ ගනිමින් කටයුතු කරන, අභ්‍යවකාශ යානාවල සිටින රොබෝවරුන් පිළිබඳව සිය විද්‍යා ප්‍රබන්ධ කෘතිවල සඳහන් කළා.

ඔහුගේ ‘ස්පේස් ඔඩෙසි’ (2001: A Space Odyssey) ප්‍රබන්ධ කතාවේ එන ඩිස්කවරි අභ්‍යවකාශ නෞකාවේ මොළය වන්නේ ‘හල්’ (HAL 9000) නමැති පරිගණකයයි. හල් යනු කෙතරම් දියුණු කෘත්‍රිම මොළයක්දැයි කිවහොත් , තනිව සංවර්ධනය වී, අවසානයේ, සිරුරක් එනම් භෞතික හැඩයක් නොමැති ‘ආත්මයක්’ බවට පත්වන බවද ආතර් සී. ක්ලාක් පෙන්වාදී තිබෙනවා.

කෙසේවෙතත් විද්‍යාවේ ලොව වේගවත් ගමන හේතුවෙන්, අද වන විට මේ රොබෝවන්, මිනිසාට ඉතාම සමාන ආකාරයෙන්, ආතර් සී. ක්ලාක් කියූ තරම් වේගයෙන් නොවූවත්, බොහෝ කාරණා ගැන තමන්ම තීරණ ගනිමින් ක්‍රියාත්මක වීමට හැකි අයුරින් සංවර්ධනය වී තිබෙනවා.

එසේම රොබෝවරුන්ගෙන් සැහෙන ලෙස ඔබ්බට ගොස් ඇති මෙම තාක්ෂණය අද දවසේ හඳුන්වන්නේ ‘කෘත්‍රිම බුද්ධිය’ (artificial intelligence (AI)) නමිනි. අන්තර්ජාලය භාවිත කිරීමේදී අසන්නට ලැබෙන විශ්ලේෂණ,කළමනාකරණය, සැලසුම් කිරීම, සෞඛ්‍ය සේවා, මූල්‍ය කටයුතු, ඩිජිටල් ක්‍රීඩා, ප්‍රචාරණය/අලෙවිකරණය, සහ භාෂා සැකසීම මෙන්ම අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ රහස් සෙවීම සඳහාද අද වන විට ජයටම මෙම කෘත්‍රිම බුද්ධිය යොදාගනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ‘කෘත්‍රිම බුද්ධිය’ (artificial intelligence (AI)) සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ලබන වසරේ රුපියල් බිලියනයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සඳහන් කළේ මෙවැනි පසුබිමකයි.

කෘත්‍රිම බුද්ධිය යනු ශ්‍රී ලංකාවේ සීමිත අයුරින් භාවිත වන, කොළඹ තාක්ෂණික සමාගම් කිහිපයකට සීමාවූවකි.

එහෙත් පෙරකී අන්තර්ජාල කටයුතුවලට අමතරව, ජන ජිවිතයට වැදගත් වන, විවිධාකාර කුඩා පරිමාණයේ සේවාවන් වෙනුවෙන්ද තාක්ෂණයෙන් සංවර්ධිත රටවල් ගණනාවක් කෘත්‍රිම බුද්ධිය අද දවසේ භාවිත කරන ආකාරය දැකගත හැකියි.

මෙලෙස කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සංවර්ධනය කරන ලද නිර්මාණයක් පිළිබඳව පසුගිය සතියේ ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඒ ගංගා පිරිසිදු කෙරෙන සහ කරදරකාරී මිරිදිය වල් පැලෑටි වර්ගයක් වන ‘ජලජ හයසින්ත්’ (මෙරටදී මෙය හඳුන්වන්නේ ජපන් ජබර නමිනි) ඉවත් කරන කෘත්‍රිම බුද්ධියෙන් සක්‍රීය කරන ලද ‘රොබෝ බෝට්ටුවකි’.

මෙම බෝට්ටුව හඳුන්වා දී ඇත්තේ ගෝමති (Gomti) ගංගාව පිරිසිදු කිරීම සඳහාය.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම බෝට්ටුව හඳුන්වාදීමත් සමඟ, රටේ ගංගාවන් පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළට තවත් නව පරිච්ඡේදයක් එක්වීමට නියමිතයි.

සාමාන්‍ය අපද්‍රව්‍ය සමඟ ක්ෂුද්‍ර අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සෑම පැයකට වරක්ම ක්‍රියාත්මක වන මෙම බෝට්ටුව විසින්, එක් වාරයකදී රාත්තල් 112ක කුණු ඉවත්කිරීම සිදුකරනු ඇති.

ඉන්දියාවේ නවෝත්පාදන ප්‍රතිපත්ති සහ සමාජ වෙනස්වීම් සඳහා වූ මධ්‍යස්ථානයේ (CIPSC) විශේෂඥයන් විසින් වැඩි දියුණු කරන ලද මෙම බෝට්ටුව, දැන් ගෝමති ගංගාවේ ලක්ෂ්මන් මේලා ඝාට් ප්‍රදේශය ආශ්‍රිතව අත්හදා බැලීමක් සිදු කරමින් සිටී.

CIPSC හි අධ්‍යක්ෂ කරිෂ්මා සභාර්වාල් පවසා ඇත්තේ,මාස කිහිපයක පර්යේෂණවලින් පසුව මෙම අත්හදා බැලීම් සිදු කරන බවත්, දින 30ක අත්හදාබැලීම් කාලය අවසන් වූ වහාම බෝට්ටුව ‘නාගරික සංස්ථාවට’ සේවා සඳහා ලබා දෙනු ඇති බවත්ය.

“රොබෝ කසළ බෝට්ටුවේ ඇති කුඩා දැලෙන් කුඩාම ගංගා අපද්‍රව්‍ය පවා ඉවත් කළ හැකිය. බෝට්ටුවට ඕනෑම කුණු වර්ගයක් පිරිසිදු කරන්න පුළුවන්. දුරස්ථ පාලකයකින් ගං ඉවුරේ සිටින කෙනෙකුට බෝට්ටුව පාලනය කරන්න පුළුවන්. එහි සවිකර ඇති සංවේදකය මඟින් අපද්‍රව්‍ය රාත්තල් එකසිය දහයක් එකතු වූ පසු, ස්වයංක්‍රීයව බෝට්ටුව ගං ඉවුරට රැගෙන එනවා.”

එලෙස පවසන කරිෂ්මා සභාර්වාල්, වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ, නගරයේ පුක්කා සිට නිෂට්ගන්ජ් පාලම දක්වා මෙවැනි බෝට්ටු තුනක් හෝ හතරක් සේවයේ යෙදවිය හැකිනම්, ගොම්ටි ගංගාව ඉතාම පිරිසිදු ලෙස ජනතාවට දැකගත හැකි බවයි.

උසස් තාක්‍ෂණයෙන් සාදන ලද මෙම ස්වයංක්‍රීය රොබෝ බෝට්ටුව සම්පූර්ණයෙන්ම සූර්ය පැනල මගින් බල ගැන්වෙන ශුන්‍ය කාබන් භාවිතයක් ඇති යාත්‍රාවකි.

බෝට්ටුවේ ඉදිරිපස කැමරාවක් ඇති අතර එමඟින් ජලයේ ඇති ප්ලාස්ටික්, හයසින්ත් සහ අනෙකුත් අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව හඳුනාගෙන ඒවා එකතු කරයි.

බෝට්ටුවේ ඇති වාහක පටිය හරහා අපද්‍රව්‍ය පසුපස ගබඩාවට එකතු වන අතර දැනට එහි ගබඩා ධාරිතාව කිලෝග්‍රෑම් 200 කි. මේ වන විටත් ප්‍රාදේශීය බලධාරීන් විසින් සේවා කටයුතු වෙනුවෙන් යොදාගැනීම සඳහා බෝට්ටුවේ බර ඉසිලීමේ ධාරිතාව කිලෝග්‍රෑම් 1000 දක්වා වැඩි දියුණු කිරීමට උපදෙස් දී තිබෙනවා.

Share This