ඉන්දියාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනතක්

ඉන්දියාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනතක්

ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල ආසන තුනෙන් එකක් කාන්තාවන් සඳහා සහතික කෙරෙන පනත් කෙටුම්පතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

1996 දී ප්‍රථම වරට යෝජනා කරන ලද මෙම පනත සමහර දේශපාලන පක්ෂවල විරුද්ධත්වය මධ්‍යයේ දශක ගණනාවක් තිස්සේ විභාග වෙමින් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ(20) ලෝක් සභාව විසින් පැය ගණනක දැඩි විවාදයකින් පසු ඒකමතිකව එය සම්මත කර තිබෙනවා.

ලෝක් සභාව විසින් සම්මත කළ පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ නීති සම්පාදකයින්ගේ අනුමැතිය අවශ්‍ය වනවා.

ඉන්පසු රාජ්‍ය සභාවේ සම්මත වුවහොත් එය ඉන්දීය ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යවා නීතියක් බවට පත් කරන බවයි සඳහන් වන්නේ.

නමුත් එය තවමත් ක්‍රියාවට නැංවීමට අපහසු වන්නේ මෙම පනත සම්මත කිරීම ඉන්දියාවේ සංගණනය අවසන් වීම මත රඳා පවතින බැවින්.

සෑම වසර 10කට වරක් පවත්වනු ලබන මෙම ක්‍රියාවලිය 2021 දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් එය ප්‍රමාද වූ අතර එය 2025 දී සිදු කිරීමටයි අපේක්ෂා කරන්නේ.

පනත් කෙටුම්පත සම්මත කිරීම ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්ෂයට ඇති අවස්ථාව ඉහළ නංවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එමෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි ලෝක් සභාවේදී පනත් කෙටුම්පතට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ස්තුතියද පළකර තිබෙනවා.

ඔහු එය හැඳින්වූයේ දේශපාලන ක්‍රියාවලිය තුළ කාන්තාවන්ට වැඩි දායකත්වයක් ලබා දෙන “ඓතිහාසික නීතියක්” බවට පත්වන බවයි.

Share This