ඉන්දීය දුම්රිය සේවය යළිත් බෞද්ධ චාරිකා දුම්රිය අරඹයි

ඉන්දීය දුම්රිය සේවය යළිත් බෞද්ධ චාරිකා දුම්රිය අරඹයි

ඉන්දීය දුම්රිය සේවය එරටට පැමිණෙන බෞද්ධ සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය සේවය යළි ආරම්භ කර තිබෙනවා.

පළමුවරට 2019 දී ඇරඹි මෙම දුම්රිය ගමන පසුගිය දෙවසරක පමණ කාලයක් මුලුමනින්ම නැවතුණේ ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගතයත් සමග සංචරණයන් සීමා වීම පැනවීමත් සමගයි.

බෞද්ධ සංචාරක දුම්රිය ලුම්බිණි, බුද්ධගයා, ඉසිපතනය හා කුසිනාරාව ප්‍රමුඛ ගමනාන්ත රැසක් වෙත දින 8ක සංචාරයක් සිදු කරන අතර එම ගමන ආරම්භ වන්නේ දිල්ලි සප්තාර්ජුන් දුම්රිය ස්ථානයෙනුයි.

ගමන අතරතුර, දුම්රිය චාරිකාව ඉන්දියාව සහ නේපාලය පුරා ස්ථාන නවයක් ආවරණය කරන අතර එය බුදුන් වහන්සේගේ ජීවිතයට හා ඉගැන්වීම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලැබූ ස්ථානයි.


සුඛෝපභෝගී පළමු පන්තියේ දුම්රියේ වරකට අමුත්තන් 96 දෙනෙකුට නවාතැන් ගත හැකි අතර අමුත්තන් 60 දෙනෙකුට සුඛෝපභෝගී දෙවැනි පන්තියේ ඉඩ සලසා තිබෙනවා.

www.irctcbuddhisttrain.com යන වෙබ් අඩවිය ඔස්සේ ඔබේ සංචාරය වෙන් කරවා ගත හැකි බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

දිල්ලියෙන් ආරම්භ වන දුම්රියේ පළමු ගමනාන්තය බුද්ධගයාවයි.

එහිදී සංචාරකයින්ට පළමුව මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ද නම් කර ඇති මහබෝධි විහාරය නැරඹීමට අවස්ථාව හිමිවන අතර
නේරංජනා නදිය නැරඹීමද හැකිවීම තවත් සුවිශේෂී අවස්ථාවක් වනවා.

එදිනම ගයාවේ තවත් වැදගත් වන්දනීය ස්ථාන රැසක් නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව ලැබෙන අතර තෙවැනි දින පැය දෙකක සුඛෝපභෝගී බස් ගමනකින් රාජ්ගීර් වෙත ළඟා වීමයි සැලසුම් කර ඇත්තේ.

එහිදී බිම්බිසාර රජු සිරගත කර සිටි සිර මැදිරිය, ගිජ්ජකූඨ පර්වතය සහ වේලුවනය දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනවා.

තෙවැනි දිනයේ පස්වරු කාලය වෙන් වන්නේ නාලන්දාවේ නටඹුන් නැරඹීමටයි.

ක්‍රිස්තු වර්ෂ පස්වැනි සහ නවවැනි සියවස් අතර කාලයේ පැවති නාලන්දාව ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙනවා.

ඈත පෙරදිග චීනයේ සහ ඉන්දුනීසියාවේ සිටි පිරිස් අධ්‍යාපනය සඳහා එහි පැමිණ ඇති බවට ලේඛන ගත සාක්ෂි පවතිනවා.

එදින රාත්‍රියේ දුම්රිය වරනාසි බලා පිටත් වෙනවා.

සිව්වැනි දිනයේ වරනාසියේ සහ සැවැත්නුවර සංචාරය කරන අතර එහිදී දම්සක් සූත්‍ර දේශනාව සිදුකළ ස්ථානය, සාරානාත් කෞතුකාගාරය, අශෝක කුලුණ, මූලගන්ධ කුටි විහාරය වැනි ස්ථාන නැරඹීමට හැකියි.

පස්වැනි දිනයේ දී දුම්රිය සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ ලුම්බිනියට පැමිණෙන අතර එම දිනය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ එහි වැදගත් ස්ථාන නැරඹීමටයි.

පසුදින මෙම දුම්රිය කුෂිනගර් හි සංචාරය කිරීමටයි සැලසුම් කර ඇති අතර එය සුන්දර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති ගමනාන්තයක් වනවා.

එය උතුරු ඉන්දියාවේ ගෝරක්පූර් (උත්තර් ප්‍රදේශ්) සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටා තිබෙනවා.

හත්වැනි දින උදෑසනම දුම්රිය බල්රාම්පූර් වෙත ළඟා වන්නේ පුරාණ ඉන්දීය කෝසල රාජධානියේ අගනුවර වූ බුදුරජාණන් වහන්සේ සිය ජිවිතයේ වැඩිම කාලයක් විසූ ශ්‍රාවස්තියේ හෙවත් සැවැත්නුවර සංචාරය සඳහායි.

එය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ඊසානදිග කොටසේ නේපාල දේශසීමාවට ආසන්නයේ රප්ති ගඟ අසල පිහිටි නගරයක් වනවා.

ජේතවන විහාරය ඇතුලු වැදගත් ස්ථාන නැරඹීමට ද එහිදී අවස්ථාව හිමිවන අතර දුම්රිය ගමනේ අවසන් නැරඹුම් ස්ථානය වන්නේ ලොව පුදුම හතෙන් එකක් වන අග්‍රා හි ටජ්මහලයි.

අටවැනි දිනයේ උදෑසන මෙම දුම්රිය යමුනා ඉවුරේ උත්තර් ප්‍රදේශ් හි වඩාත්ම ජනාකීර්ණ නගරවලින් එකක් වන අග්‍රා වෙත ළඟා වන අතර ටජ්මහල නැරඹීමෙන් අනතුරුව එදින පස්වරු 6 වන විට දුම්රිය යළි නවදිල්ලියට ළඟා වනවා.

අද්විතීය අත්දැකීමක් ලබාදෙමින් මෙම දුම්රියේ ගමන් කරන්නන් සඳහා වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය මැදිරි, අවන්හල් දෙකක්, කුඩා පුස්තකාලයක්, නවීන මුළුතැන්ගෙයක් සහ පාද සම්බාහන යන්ත්‍ර වැනි පහසුකම්ද හිමිවනවා.

Share This