ඉරානය සමග සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානම්

ඉරානය සමග සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානම්

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධයට සටන් විරාමයක් ගෙන ඒමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එළැඹෙන සතියේදී ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලය සහ ඉරානය ගෙනගිය යුද්ධය අතරතුර අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් දෙරටම සටන් විරාමයකට එළඹුණේ අඛණ්ඩව දින 12ක් පුරා මැදපෙරදිග එකම යුද පිටියක් බවට පරිවර්තනය කරමින් සිදු වූ ව්‍යසනයට තාවකාලික විරාමයක් ගෙන එමින්.

නවතම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එළැඹෙන සතියේදී ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා සූදානම් බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ ඉරානය අතර වූ යුද්ධයට අමෙරිකාව මැදිහත්වීම, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පෙන්වා දී තිබුණේ අමෙරිකාව සිය රාජතාන්ත්‍රිකභාවය පාවා දීමක් ලෙසයි.

ඒ අනුව වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයකට යෑමේ අදහසක් ඉරානයට නොමැති බවත් එරට උත්තරීතර නායකයා අවධාරණය කළා.

මේ අතර අමෙරිකාවේ මැදිහත් වීමෙන් ඉකුත් 22 වැනිදා ඉරානයේ Natanz, Isfahan සහ Fordow යන න්‍යශ්ටික බලාගාර වෙත බන්කර් බස්ටර් බෝම්බ හෙලීම හමුවේ එම න්‍යශ්ටික බලාගාරවලට සිදු වූ හානිය තක්සේරු කරමින් පලවන පරස්පර අදහස් හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තරය තවත් උණුසුම් වී තිබෙනවා.

අමෙරිකාවේ රහස් ඔත්තු සේවය පවසන්නේ මෙහෙයුම හරහා අපේක්ශිත ප්‍රතිපල ලබාගැනීමට නොහැකී වූ අතර ඉරානය සතු න්‍යශ්ටික හැකියාව මාස ගණනාවක් ප්‍රමාද කළ බවයි.

ඇමරිකානු ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි ලෙස හානි කළ බවත් ඉරාන න්‍යශ්ටික වැඩසටහන වසර ගණනාවක් පසුපසට ගිය බවත් CIA ප්‍රධානියා නව වාර්තාවක් එලිදක්වමින් පෙන්වා දී තිබෙනවා.

මෙවන් පසුබිමක ඊයේ නෙදර්ලන්තයේ හේග් නුවර පැවති නේටෝ සමුලුව හමුවේ ට්‍රම්ප් තැබූ ප්‍රකාශය හරහා පෙනී යන්නේ මෙහෙයුමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඔහු දැරූ මතය මේ වන විට තරමක් දුරට වෙනස් වී ඇති බවයි.

ඒ අනුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට නොව එම වැඩසටහන මද කාලයකට පමා කිරීමට අමෙරිකානු මෙහෙයුම හරහා හැකී වූ බව ට්‍රම්ප් මෙන්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ද පිළිගෙන ඇති බව පෙනීයන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පරීක්ෂක කාර්යාලය වන IAEA සමඟ ඇති සියලුම සහයෝගීතාව අත්හිටුවීමට ඉරානය තීරණය කර ඇති අතර ඒ සදහා වන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමෙන්තුව තුලද සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කල ප්‍රහාර හමුවේ සිදු වූ හානිය පිළිබඳව ස්වාධීන විශේෂඥ තක්සේරුවක් කිරීමද අසීරු කටයුත්තක් බවට පත්ව ඇතැයි සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුවුණා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබඳව මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජ්‍යතාන්ත්‍රික උත්සායන්හි වැදගත්කම පිළිබඳ මෙහිදි සාකච්චාවට යොමුව තිබෙනවා.

එමෙන්ම තවදුරටත් මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම ආසියානු කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානාය යොමු කල බවයි විජිත හේරත් මහතා සිය එක්ස් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කලේ.

Share This