ඊශ්‍රායල ආරක්ෂක තත්ත්වය පිළිබද ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් උපදෙස්

ඊශ්‍රායල ආරක්ෂක තත්ත්වය පිළිබද ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් උපදෙස්

ඊයේ දිනය පුරාත්, මධ්‍යම රාත්‍රියේ හා අද උදෑසන 02.35 ට ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉලක්ක කරමින් ඉරාන බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන පාහරයන් එල්ල කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

පෙරට වඩා බොහෝ නාගරික කලාපවල ජිවත්වන පිරිස් නිරන්තරයෙන්ම ආරක්‍ෂිත ස්ථාන වෙත රැකවරණය ලැබීමට යොමුකර ඇත්තේ ඒ අනුවයි.

අදාළ ප්‍රහාරවලට හයිෆා හා මධ්‍යම ටෙල් අවිව් කලාපවල ගොඩනැගිලි ගිනිගැනීම් වාර්තා වී තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ ඊශ්‍රායල භූමියෙන් පිටත උතුරු ඊශ්‍රායලයේ වෙරළට ඔබ්බෙන් ඉරානය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් ඊශ්‍රායල් ගුවන් හමුදාව ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා.

ඉරානය රට පුරා මිසයිල ප්‍රහාරයක් එල්ල කරන විට හයිෆාහි අවම වශයෙන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.

සිකුරාදා දහවල් හයිෆා නගරයට එල්ල වූ තවත් ඉරාන මිසයිල ප්‍රහාරයකින් හයිෆා හි පැරණිතම, දෙවන පැරණිතම මුස්ලිම් පල්ලියට හානි සිදුව තිබෙනවා. එම අල් ජරිනා මුස්ලිම් පල්ලියේ සිටි මුස්ලිම් පූජකවරුන්ට තුවාල සිදුවී ඇතැයි එරට ආරක්ෂක තොරතුරු උපුටා දක්වමින් තානාපති කාර්යාලය සදහන් කළා. මෙම දේවස්ථානය 1761 දී ඉදිකරන ලද්දක්.

ඊයේ (20) දින ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ TABA දේශසීමා පිවිසුමෙන් , ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට යාම බලා පිටත්වූ හතර දෙනාගෙන් ඊශ්‍රායලයේ විසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතාට මේ පිළිබඳව දැන්වූ වහාම ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත් බවද ඊශ්‍රායල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.

මෙවැනි ආකාරයේ ඊශ්‍රායලයේ විසා නොමැති විදේශිකයන් ඊජිප්තුවට ඇතුල්වීමේ දී දීර්ඝ ප්‍රශ්න කිරිම හා අත්අඩංගුවට ගැනීම පවා සිදුවන බැවින් හදිසි තත්ත්වය මත වුවද වීසා නොමැති හා වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවා.

තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ එවැනි ඊශ්‍රායලයේ වලංගු විසා බලපත්‍රයක් නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා යාමට ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වනතුරු සිටිය යුතු බවයි.

තම දරුවාගේ අභාවය හේතුවෙන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට ගමන් කළ ශ්‍රී ලාංකිකයා නිරුපද්‍රිතව ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බවත්, ඊයේ ඔහුගේ දරුවාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී ඇති බවත් තානාපති කාර්යාල නිවේදනයේ දැක් වුණා.

ඊයේ දිනය තුළ දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තානාපති කාර්යාලයට පැමිණ අදාළ ලියකියවිලි ලබාගත් බව ද තානාපති කාර්යාල නිවේදනයේ සදහන්.

සතියක් පුරා ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකිව ආසන්න රටවල රැදී සිටි ඊශ්‍රායල් ජාතිකයන් බොහෝ දෙනෙකු සයිප්‍රස් හරහා මගී යාත්‍රාවලින් හා ඊශ්‍රායිල් ජාතික ගුවන් සේවය වන Akiya ගුවන් සමාගමේ යානා මගින් ඊයේ සිට ඊශ්‍රායලයට රැගෙන ඒම ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලයේ සේවය කොට දැනට ශ්‍රී ලංකාවට නිවාඩු සඳහා ගොස් සිටින පිරිස් විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි කටයුතු කරන මෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් දැනුම් දෙනවා.

අද (21) දින ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුවද ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිස වෙනුවෙන් සේවා සැපයීමට තානාපති කාර්යාලය විවෘතව තබා ඇතැයි ද එම නිවේදනයේ සදහන්.

ඉදිරි දිනවල ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල කළ හැකි ප්‍රහාරයන් පිළිබඳව ඉතා විමසිලිමත්වන ලෙස හා රජය විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස ද අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙනවා.

 

Share This