උතුරු ඉන්දියාවේ අධික වර්ෂාව නිසා 40කට වැඩි පිරිසක් මරුට – කඩා වැටුණු ආගමික ස්ථානයේ සෙවීම් තවදුරටත්

උතුරු ඉන්දියාවේ අධික වර්ෂාව නිසා 40කට වැඩි පිරිසක් මරුට – කඩා වැටුණු ආගමික ස්ථානයේ සෙවීම් තවදුරටත්

උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ෂිම්ලා ප්‍රාන්ත අගනුවර ආගමික ස්ථානයක් පැවති ගංවතුර හේතුවෙන් කඩා වැටීමෙන් නව දෙනෙකුද මිය ගියා

මේ වනවිට මියගිය අයගේ සිරුරු සොයාගෙන ඇති අතර සුන්බුන් අතර සිටි 5 දෙනෙකු ද බේරාගෙන තිබෙනවා

නමුත් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් තවමත් සිරවී සිටින බවත්, මුදාගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය පවසනවා

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විපතට පත් පවුල්වලට ශෝකය ප්‍රකාශ කර ඇති බවද සඳහන් වනවා

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රාන්තයට රතු නිවේදනයක් නිකුත් කරමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් ගමනාගමන කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබෙනවා

නොනවතින වර්ෂාවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් මාර්ග 700 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ප්‍රාන්තයට තද වැසි අපේක්ෂා කරන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා

හිමාචල් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය Sukhvinder Singh Sukhu විපතට පත් පවුල්වලට හැකි සෑම ආධාරයක්ම සහ අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසට බලධාරීන්ට උපදෙස් දී තිබෙන අතර නිවෙස්වලට වී සිතින් ලෙසත් නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශවලට නොයන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා

එමෙන්ම මෙම ප්‍රාන්තයේ පාසල්, විද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතන වසා දමා ඇති අතර පශ්චාත් උපාධි පන්තිවල දැනට පැවැත්වෙන සියලුම විභාග අවලංගු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This