එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී සම්මත වූ වාර්තාවේ තියෙන්නෙ මෙන්න මේවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී සම්මත වූ වාර්තාවේ තියෙන්නෙ මෙන්න මේවා

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනා කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයට පසුගියදා ඉදිරිපත් කර තිබුණේ කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල් ප්‍රමුඛ තවත් රටවල් 30ක සම අනුග්‍රාහකත්වයෙන්.

A / HRC/60/L.1 /REV.1 යනුවෙන් නම් කර ඇති එම යෝජනාව පිළිබඳ කෙටුම්පත පසුගිය ඔක්තෝබර් පළමු වැනිදා ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට සමගාමීව ඉදිරිපත් කර තිබුණා.

ජාතික සංහිඳියාව සහ සියලු පුරවැසියන්ට මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විදීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරමින් ඒ සඳහා දේශපාලන අධිකාරියට වගවන ලෙස සහ කැපවන ලෙස අද අදාළ යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම පළාත් සභා මැතිවරණ සඳහා පහසුකම් සැලසීම, උතුරු නැගෙනහිර කලාපවල ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ද එම යෝජනාව අතර වනවා.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම විශේෂයෙන් කාන්තාවන් හිංසනයන්ගෙන් තොර ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ අත්‍යාවශ්‍යතාව ද අදාළ යෝජනාව මගින් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම මෙන්ම පුරාවිද්‍යාත්මක, ආගමික සහ සංරක්ෂණ ගැටලු පිළිබඳ ආරවුල් විනිවිදභාවයෙන් සහ වෙනස් කොට සැලකීමකින් තොරව විසඳන ලෙසත් එම යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් දීර්ඝ කිරීම ද එම යෝජනා අතර වනවා.

1983 සහ 2009 අතර කාලයේ පැවති සිවිල් යුද්ධයේදී සිදුවූ බව කියන අවිචාරවත් ප්‍රහාර, නීති විරෝධී ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය හරහා තොරතුරු එක්රැස් කෙරෙන බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවක දැක්වෙන්නේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් කඩිනම්, පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණවල අවශ්‍යතාව ද අදාළ යෝජනාවෙන් අවධාරණය කර තිබුණා.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේ 41 වන රැස්වීමේදී ශ්‍රී ලංකාව එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහෙත් ඊයේ දිනයේ ඡන්ද විමසීමකින් තොරව රටවල් 22 ක් සම අනුග්‍රාහකයින් ලෙස අත්සන් කරමින් එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී සම්මත කර ගෙන තිබෙනවා.

Share This