එවරස්ට් කන්ද තරණය කළ ඕස්ට්‍රේලියානු ජාතිකයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

එවරස්ට් කන්ද තරණය කළ ඕස්ට්‍රේලියානු ජාතිකයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

එවරස්ට් කන්ද තරණය කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

කන්ද තරණය කර ආපසු පැමිණෙමින් සිටිය දී 40 හැවිරිදි වියේ පසු වූ ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ඕස්ට්‍රේලියානු ජාතිකයාට හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන ඇති අතර එම අවස්ථාවේ දී මග පෙන්වන්නන් ළඟ තිබූ ඔක්සිජන් සිලින්ඩර අවසන් වී තිබෙනවා.

එහිදී අවශ්‍ය ඔක්සිජන් රැගෙන ඒම සඳහා පිරිසක් කටයුතු කර ඇති නමුත් පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඔවුන්ට අදාළ ස්ථානයට ළඟා වීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මියගිය ඕස්ට්‍රේලියානු ජාතිකයා 2006 වසරේ දී සිදු වූ රිය අනතුරකින් ආබාධයකට පත්ව සිට ඇති අතර ඔහුට සිය ජීවිත කාලය තුළ කිසිදාක ඇවිදීමට නොහැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් අනතුර සිදු වී වසර 17 කට පසුව ඔහු මෙලෙස කඳු තරණයේ නිරත වීම විශේෂත්වයක් වනවා.

මියගිය ඕස්ට්‍රේලියානු ජාතිකයා එරට කොඳු ඇට පෙළේ ආබාධ සහිතවූවන් වෙනුවෙන් අරමුදල් රැස් කර ගැනීම සඳහා කඳු තරණයේ නිරත වීමට තීරණය කර තිබුණා.

ඔහු එවරස්ට් කඳු තරණයේ නිරත වීමට පෙර සිය අරමුදල් රැස් කරන වෙබ් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමා එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට උත්සාහ කරන අතර තවදුරටත් කඳු තරණයේ නිරත වීමට ද කටයුතු කරන බවයි.

එවරස්ට් කන්ද තරණය කරන මෙම කාලය තුළ සිදුව ඇති 10 වන මරණය මෙය වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This