
කංජිපානි ගේ සමීපතමයෙක් ඉන්දියාවෙන් කටුනායකට එද්දී අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම් රාන් ගේ සමීපතම අනුගාමිකයෙකු වන 45 හැවිරිදි මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අර්ෂාඩ් නැමැත්තා ඉන්දියාවේ සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදී අද(24) අලුයම ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මොහු කොළඹ – 13 , ආදුරුප්පු වීදියේ පදිංචිකරුවෙකු වන අතර , වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැදී සිටියදී , පසුගිය 22 දා ඉන්දීය ආරක්ෂක නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණා.
මේ පුද්ගලයා අද ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
මොහු ඉකුත් 2017 වසරේ මෙරටින් ඩුබායි වෙත පළා ගොස් තිබූ අතර ඉන්දියාව වෙත පළා විත් තිබුණේ , 2019 වසරේ මාකදුරේ මදූෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් පිරිසක් ඩුබායි හි උපන් දින සාදයකදී අත් අඩංගුවට පත් වීමත් සමගමයි.
මොහුගේ බිරිඳ සහ දරුවන් තවදුරටත් ඉන්දියාවේ රැදී සිටින අතර , ඔවුන්ට වලංගු වීසා සහ ගමන් බලපත්‍ර පවතින බවට තොරතුරු වාර්තා වනවා.
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර , එම නිලධාරීන් මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.