
කච්චිමඩුව වැවේ පිටවාන සාදා අවසන්
සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමට ලක් වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, කොට්ටුකච්චිය , කච්චිමඩුව වැවේ පිටවාන කැඩී යාම හේතුවෙන් වගාබිම් රැසක් යට වී ගියා.
ගොවි සංවිධාන පවසන්නේ එමගින් මෙවර මහ කන්නයේ වගාකර තිබූ අක්කර 1000 කට වැඩි ගොවි බිම් විනාශ වූ බවයි.
රජය මගින් මෙම කැඩීගිය පිටවාන යළි සකස් කර යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් හා ආයතනික මැදිහත්වීම සිදු කර පසුගිය දින කීපය පුරා ම ප්‍රදේශයේ ගොවි සංවිධාන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ගම්වාසීන්ගේ සාමූහික දායකත්වය සහිතව පිටවාන සකස් කර අවසන් කර තිබෙනවා.
කච්චිමඩුව ජලාශය අක්කර 500 කට වැඩි විශාලත්වයකින් යුක්ත වන අතර එහි අඩි 210 ක් පමණ වන දැවැන්ත පිටවාන තුළින් ඇති වූ කුහරයක් හේතුවෙන් වාන කැඩී යාම සිදුව තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළා.
කච්චිමඩුව ජලාශය වාන කැඩී යාමත් සමඟ අවට ගම්මාන හා ගොවි බිම් මෙන්ම පුත්තලම – කුරුණෑගල මාර්ගය ද කොට්ටුකච්චි ආසන්නයෙන් ජලයෙන් යට වී ගියා.
කොට්ටුකච්චි රෝහල් මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා.
